රාත්‍රි කාලයේ අපරික්ෂාකාරීව පැදවූ මෝටර් රථයකට යටවී මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ දහහත් හැවිරිදි බාල වයස්කාර සිසුවකුට
එරෙහිව මහරගම පොලිසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා දහයක් යටතේ නඩු පැවැරීය. පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දහහත් හැවිරිදි බාල වයස්කාර සිසුවකුට එසේ නඩු පැවැරිණි.

මීට අමතරව එකී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනකුට (04)
එරෙහිවද නඩු පැවැරුණු අතර බාලවයස්කාර දරුවකුට වාහනය පැදවීමට ඉඩ ලබාදීම, අනතුරෙන් පසුව එකී මෝටර් රථය ධාවනය කළ සැකකාර සිසුවා හා එම රථයේ සිටි තවත් සිසුවකු රැගෙන ගොස් සඟවා තැබිම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි නදුන් දර්ශන පෙරේරා හා භානුක පිරිස් යන තරුණයන් දෙදෙනකු මෙකී සිද්ධියෙද්දී මියගොස් ඇති අතර නදුන් දර්ශන නමැති තරුණයා කොළඹ මහාධිකරණයේ සේවයේ නියුතුව සිටි අයෙකි.මෙකී නඩුව නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු  එච්.යූ.කේ.පැල්පොල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ මියගිය තරුණයන් දෙදෙනාගේ පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එකී මියගිය තරුණයන්ට සාධාරණ වන්දියක් ලබාදිමට අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව සලකා බැලීම මහෙස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් මස 20 දිනට කල් තැබිය. මෙම මාරක අනතුර 2018 සැප්තැම්බර් මස 07 දින රාත්‍රියේ පන්නිපිටිය, පොල්වත්ත මංසන්ධිය ආසන්නයේදි සිදුව තිබිණ.

-කුමුදු උපුල් ශාන්ත-