https://www.gossiplankanews.com/2019/09/sumedha-jayasena-theft.html
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමේධා ජී. ජයසේන මහත්මිය පදිංචි කෝට්ටේ මාදිවෙල
ග්‍රාමෝදය මාවත, දෙමහල් නිවෙසට ඇතුළු වී පවුම් තුනක් පමණ බර රන් වළල්ලක් සොරාගත් බව කියන
පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා
අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

සැකකරු එදින එම නිවෙසට පදවාගෙන ගිය යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන ඇත.
ඉකුත් 6දා මන්ත්‍රිවරිය ආරක්ෂකයන් තිදෙනා සමඟ පාර්ලිමේන්තුවට ගොස් නිවෙසට පැමිණ පහත මාලයේ
කණ්ණාඩි මේසයේ ලාච්චුවට රන් වළල්ල ගලවා දැමූ බව ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

එදිනම සවස ඇය රෝගියකු බැලීම සඳහා ශ්‍රී  ජයවර්ධනපුර රෝහලට ගිය බවද එම අවස්ථාවේ නිවෙසට
පැමිණි නාඳුනන පුද්ගලයකු මන්ත්‍රිවරිය හඳුනන බව ඇයගේ පුතුට පවසා තමාගේ මවට අසනීප බව පවසා

රුපියල් 5000ක් ඉල්ලා ඇතැයිද පොලිසිය කියයි.

මන්ත්‍රිවරියගේ පුතු උඩුමහලට ගොස් රුපියල් එක් දහස් පන්සියයක මුදලක් රැගෙන පැමිණ නාඳුනන
පුද්ගලයාට ලබාදී ඇති බවද පොලිසිය කියයි.

මන්ත්‍රිවරිය පසුදින පාර්ලිමේන්තුවට යෑම සඳහා පැලඳීමට රන් වළල්ල සොයා බැලීමේදී කණ්ණාඩි මේස
ලාච්චුවේ දමන ලද එය නොමැති බව දැක පැමිණිලි කළ බව පොලිසිය කියයි.

අදාළ සොරකම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ගල්කිස්ස බඩෝවිට
ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මන්ත්‍රිවරියගේ නිවෙසට ගියද රන් වළල්ල
සොරකම් නොකළ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ උසස් විදුහලක ඉගෙනුම ලබා ඉංග්‍රිසි භාෂාව චතුර ලෙස කතාබහ
කළ හැකි පුද්ගලයකු බව පවසන පොලිසිය හොඳින් හැඳ පැලඳ ගෙන හුදකලාව තිබෙන නිවෙස්වලට ගොස්
දන්නා හඳුනන බව හඟවා අම්මාට අසනීප බව පවසා මුදල් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

සැකකරු සොරාගත් බව කියන රන් වළල්ල සොයා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

එම්.සී. පෙරේරා