හෙරොයින් පානයට ඇබ්බැහිව සිටියේ යැයි කියන පුද්ගලයකු බිරිය සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු
නිවෙසේ ආලින්දයේ පැදුරක් එළාගෙන නිදාසිටි පුරුෂයාගේ බෙල්ලට ඊයේ (01දා) අලුයම 01ට පමණ
බිරිය කඩුවකින් කොටා ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධව වාරියපොළ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 මෙසේ මියගොස් ඇත්තේ වාරියපොළ බණ්ඩාර කොස්වත්ත වෙලගෙදර ගමේ පදිංචිව සිටි හදුන්පුරගේ සනත්
කුමාර (38) නැමැති අයෙකි.

පුරුෂයාගේ බෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියන බිරිය පොලිස් හදිසි ඇමතුම් අංශයට
දුරකථනයෙන් දැනුම් දීමෙන්
පසු එම අවස්ථාවේ පොලිසිය එම ස්ථානයට ගිය බවත් නිවෙසේ ආලින්දයේ ලේ
තැවරුණු පැදුරක් මත බෙල්ලේ හා අතක කැපුම් තුවාල සහිතව සිරුර තිබුණ බව පොලිසිය කියයි.

 ඝාතනය සම්බන්ධව පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලට අනුව මෙම යුවළ අතර කලක සිට ආරවුල් ඇති බවත්
මරණකරු හෙරොයින් පානයටද ඇබ්බැහි වූ අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් හෙරොයින්
සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ඇති මරණකරු හෙරොයින් ජාවාරම්කර බන්ධනාගාරගතව සිට ඇප මත
නිදහස් වී පැමිණ මාස 02කට අඩු කාලයක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

 දැනට අවුරුදු 28ක වයසේ පසුවන සැකකාරිය අවුරුදු 18ක වයසේදී මරණකරු සමඟ විවාහ වී ඇති බවත්
ටික කලක සිටම දෙදෙනා අතර ආරවුල් ඇති කර ගෙන ඇති බවත් මරණකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ
අයකු බවත් පැවැසේ.

 මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය අත්අඩංගුවට ගෙන ඝාතනයට උපයෝගි කරගත් කඩුවක්
පොලිසිය භාරයට ගෙන ඇත. පරීක්‍ෂණවලින් පසු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන
ඇතැයි පොලිසිය පවසයි.

 කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් පිට කුරුණෑගල ජේ‍යෂ්ඨ
පොලිස් අධිකාරි උපාලි ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි ඪඪ මංගල වික්‍රමනායක මහත්වරුන්ගේ
මෙහෙයවීමෙන් වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ
ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද