https://www.gossiplankanews.com/2019/09/ranu-mondel-story.html#more
මිනිස්සුන්ගේ ජීවිතේ වාසනාව කියන දේ මතුවෙන්නේ කොයි වෙලේද කියල අපිට හරියටම කියන්න බැහැ. ඉපදුන දවසේ ඉදලා අපි දැකපු හීනයක් එක මොහොතකින් සැබෑ වුණොත් ඇත්තටම මොන වගේ හැගීමක් ඇති වෙයිද? මේ දවස්වල ඒ වගේ වාසනාවක් උදා වුණු කාන්තාවක් ගැන
සමාජ ජාලවල මහ ඉහළින් කතා වෙනවා. ඒ තමයි රානු. රානු මොන්ඩාල්. උපතින්ම දුප්පත්කම තුරුළු කරන් ඉපදුණු රානු තමන්ගේ දෙමාපියන්ට පස්සේ ගොඩක් ආදරේ කළේ සංගීතයට. ආර්ථික අතින් දුප්පත් වුණත් දෙවියන් ඇයට හරි අපූරු කටහහඬක් උරුම කරල දීල තිබුණා. තමන් වැටිලා හිටපු ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න රානුට කවුරුත්ම උදව් කළේ නැහැ. කොයි තරම් ප‍්‍රශ්න ආවත් ජීවිතෙන් පලා යන්න රානු උත්සාහ කළේ නැහැ. විඩාවට පත් වුණු මිනිස් හදවත් සුවපත් කරන්න ජීවිතයේ සැදෑ සමය වන තෙක්ම ඇය ගායනා කළා. බොහෝ දෙනා ඇගේ මිහිරි කටහඩින් උදම් වුණා. රානුගේ හිත සනසන්න එයා ළගට එන අය රානුගේ අතේ කීයක් හරි මිට මොලවල ගියත් කිසිම වෙලාවක එයාට ඉදිරියට යන්න උදව් කළේ නැහැ. හැබැයි එක දවසක් රානුගෙ ජීවිතේ වෙනස් කරන ඉරණම්කාරයා එයාට හමුවෙනවා. ඒක හරි අහඹු සිදුවීමක්. රානුගේ කටහඬට වශී වුණු එක්තරා තරුණයෙක් තමන්ගේ මොබයිල් එකෙන් රානුව වීඩියෝ කරනවා.


දවසක් දෙකක් ගෙවිල යනවා. රානුත් ඒ විදිහටම දුම්රිය ස්ථානයට ඇවිත් ගායනා කළා. අර තරුණයා වැඩිය හිතන්නෙ නැතිව රානුගේ වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහරිනවා. සිද්ධ වෙන්නෙ අරුම පුදුම දෙයක්. පැයක් යන්නත් කලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රානුගේ වීඩියෝ එක නරඹනවා.

බෙංගාලයේ නාඩියාවල දුම්රිය ස්ථානයට එන යන අය පමණක් සවන් දුන්න රානුගේ කටහඩ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නවා. හැබැයි හොදම දේ වෙන්නෙ ඊට පස්සේ. ඒ බොලිවුඩයේ ජනප‍්‍රිය සංගීතඥයකු, ගායකයකු වුණු හිමේෂ් රෙෂ්මියා මේ වීඩියෝ එක නැරඹීම.

කිසිවෙකුටවත් නොපෙනුනු රසාලිප්ත බවක් හිමේෂ් මේ කාන්තාවගේ කටහඩ තුළින් දකිනවා. ඒ අවස්ථාවේ තමයි හිමේෂ් තීරණය කරන්නේ රානුව පටිගත කිරීමේ මැදිරියකට ගෙන්වන්න. කිසිවෙකුටත් නොකියාම හිමේෂ් රානුව හොයාගෙන එයා සිංදු කියන දුම්රිය ස්ථානයට යනවා. රානුට නම් මේ සිද්ධවෙන හැම දෙයක්ම හීනයක් වගේ. ඇය කවදාවත්ම හිතුවේ නැහැ හිමේෂ් වගේ කෙනෙක් තමන් වගේ දුප්පත් කාන්තාවක් හොයාගෙන එයි කියලා. නමුත් ඒක එහෙම සිද්ධ වුණා.

ශබ්දාගාරය ඇතුළේදී රානුගේ කටහඩ සංගීතයත් එක්ක එකතුවෙලා තමන්ගේ කනට වැටෙනකොට හිමේෂ් පුදුමයට පත් වෙනවා. මේ අපූරු ගැහැණියට තමන්ගේ ඊළග චිත‍්‍රපටයේ ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනෑ කියන අදහස හිමේෂ් තුළ ඇතිවෙන්නෙ මේ වෙලාවේ. ඒ වගේම එයා ඒක තමන්ගේ ටුවිටර් ගිණුමෙත් සදහන් කරනවා. ඒ මෙන්න මේ විදිහට.

”මගේ නවතම චිත‍්‍රපට ගීතය වන තේරී මේරී කහානී ගීතය අතිදක්ෂ ශිල්පිණියක වන රානු මෙන්ඩල් සමග ගායනා කරන්න ලැබීම මට සතුටක් වගේම මා ලද භාග්‍යයක්” යනුවෙනුයි. මේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පණිවුඩය වයිරල් එකක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අසරණ දක්ෂ රානු වෙනුවෙන් හිමේෂ් කරපු මේ සත් ක‍්‍රියාව වෙනුවෙන් ලෝකයේ සෑම තැනකින්ම පැසසුම් ගලා එන්නට පටන් ගන්නේ හිමේෂ්වත් නොහිතපු විදිහට.

හිමේෂ්ගේ පණිවුඩයට ප‍්‍රතිචාර විදිහට රසිකයින් දක්වලා තිබුනේ මෙන්න මේ වගේ අදහස්.

”දුම්රිය ස්ථානයකින් මැදිරියට ගිය රානු මොන්ඩාල් සම්බන්ධ සියලූ ගෞරව හිමිවිය යුත්තේ හිමේෂ් රෙෂ්මියා නුඹටයි. අපි නුඹට ආදරෙයි.”

”අපගේ සිහින සැබෑකර ගැනීමට අපට ධෛර්යයක් තිබේ නම් ධනාත්මක ආකල්පයකින් සිහින සැබෑ කරගත හැකිය. ඇය වෙනුවෙන් ඔබ දැක්වූ ආදරයට සහ සහයෝගයට ස්තූතියි.”


”රානු මෙන්ඩාල් එදා දුම්රිය ස්ථානයේ ලතාජීගේ ගීතය ගායනා කළාය. නමුත් අද ඇය හිමේෂ් බායි සමග ඇයගේ පළමු ගීතය පටිගත කරයි. ඒ ඔහු ගේ ඉදිරියට පැමිණීමට නියමිත චිත‍්‍රපටයක් සදහායි. මේ සියල්ල වෙනුවෙන් ආදරය සහ ගෞරවය හිමිවිය යුත්තේ හිමේෂ් ඔබටයි”

”සමාජයේ බොහෝ දෙනා තමන් ප‍්‍රදර්ශනය කිරිමට වැඩි කැමැත්තක් දක්වයි. නමුත් අනෙකා ගැන සිතා හොද වැඩ කරන්නේ අල්ප පිරිසකි. හිමේෂ් යනු එබඳු දුර්ලභ මිනිසෙකි.”

මෙවැනි අදහස් තුළින් හිමේෂ්ව සිය රසික ප‍්‍රජාව අතර තව තවත් ආදරයට ලක් වූවා සේම රානු පිළිබදව ද බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තා. ජනප‍්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලට සේම ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහන් වලට ද රානුට ආරධනා ලැබුණා. ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමනේදී තමන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබදව ඇය ලෝකයටම ඇහෙන්න කතා කළේ කවුරුත් පුදුමයට පත් කරමින්. රානුගේ කටහඩ පිළිබද ජාවෙඞ් අලී, අල්කා යාග්නික් වැනි ප‍්‍රවීණයින් පවා පුදුමයට පත් වී තිබෙනවා. රානු සහභාගීවූ එක්තරා රූපවාහිනී වැඩසටහනක් අහම්බයෙන් වගේ බොලිවුඩයේ සුපිරි නළුවකු වන සල්මන් ඛාන්ට නරඹන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අසරණ කාන්තාව වෙනුවෙන් යමක් කළ යුතු බව අවබෝධ කර ගන්න සල්මන් තමන්ගේ පෞද්ගලික වියදමින් රානුට නිවසක් ලබා දීමට පවා කටයුතු කරනවා.

දැන් රානු කියන්නේ නිකම්ම නිකම් වැදගැම්මකට නැති කාන්තාවක් නෙවෙයි. ලෝකයේම ආදරය දිනාගත් අති දක්ෂ ගායන ශිල්පිණියක්. මේ සියල්ල වුණේ ඇය මුලින්ම ගායනා කළ ගීතය නිසයි. මේක තමයි යතාර්ථය. මේක තමයි වාසනාව. හීන පසුපස හඹා යෑමේ අවසාන ප‍්‍රතිඵලය. රානු අද ඒ හැම දෙයකම සැනසීමේ අත්විඳිනවා. ඒ වගේම තමයි තමන්ට ලැබුණු මේ වටිනා අවස්ථාව ගැන මාධ්‍යයට කියන්නත් ඇය අමතක කළේ නැහැ.

”ගායනය සහ සංගීතය කියන්නෙ මගේ ජීවිතය. එයින් තොරව මට ජීවිතයක් ගැන හිතන්න බැහැ. ඒ නිසා වෙන්න ඇති මම හැමදාම සින්දු කියන්න තීරණය කළේ. අවසානයේ මා නොසිතූ දෙයක් සිදු වූවා. ඉතින් ඔබටත් පුළුවන්. ඔබේ සිහින ජයග‍්‍රහණය කරවන්නට. හිමේෂ් සර් ඔබට බොහෝම ස්තූතියි මා වැන්නියකට ළගාකර දුන් සියලූ දේ වෙනුවෙන්. ”

මේ හැමදේම අතරේ රානුට ආදරේ කරන අය වගේම ඇයට චෝදනා කරන පිරිස් ද නැතුවම නොවෙයි. නමුත් හිමේෂ් ඇය වෙනුවෙන් කරන්න ඕනෑ උපරිමය දැනටමත් කරල ඉවරයි. දත් මැදින් හිඩැසක් තියෙන කුණු දුහුවිලි තැවරුණු සාරියකින් සැරසුණු අවුල් වූ හිසකෙස් සහිත රානු දැන් ගොඩක් වෙනස් වෙලා. හිමේෂ්ගේ ගීතයෙන් පස්සේ රානුට තවත් ආරාධනා රැසක්ම ලැබිලා. ඇය ඒ ගැන ඉන්නේ හරිම සතුටකින්.

ඉතින් අපිත් මේ දුම්රිය පොලේ සිට ශබ්දාගාරය දක්වා පැමිණි අපූරු ගැහැණියගේ ගමනට ආශිර්වාද කරමු.

අමිල නුවන් මධුසංඛ