https://www.gossiplankanews.com/2019/09/political-issue-after-maithripala-speech.html#more
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කතාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන විපක්‍ෂය යන දෙපිලමටම
දේශපාලන අර්බුද මතුව ඇති බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂද, පොදුජන පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පක්ෂද මේ වනවිට කටයුතු සංවිධානය කරමින් පවතියි.

මේ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව යම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්ෂයේ ප්‍රධානීන් වෙන වෙනම සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

විශේෂයෙන්ම සම්මේලනය

අමතමින් ජනාධිපති සිරිසේන මහතා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්ජුනට ඉහළින් ඇති ලොකු මහත්වරුද අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසීම ආණ්ඩුවේ ඉහළ පුටු අමාරුවේ වැටෙන බවට ඉඟියක්ද යන්න ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා කර ඇත.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට වැඩි බලයක් නොමැති බව පවසා ප්‍රබල අගමැතිවරයෙකු ඇතුළු ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කළ යුතු බව සහ තමාටද වයස 68 බැවින් තමාද පරිණත පුද්ගලයෙකු යැයි පැවසීම තුළ 2020 ආණ්ඩුව පිහිටුවීම සහ අගමැති ධුරය ලබාගැනීමේ සැලැස්මක් ඔහු සතුව ඇතිදැයි පොදුජන පෙරමුණ ඇතුළු එම පක්‍ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

එසේම, ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මේ හේතුවෙන් යම් බලපෑමක් ඇති විය හැකිද යන්න පිළිබඳව ඔවුන් අතර සාකච්ඡා වී ඇති බවටද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරි දේශපාලන ජයග්‍රහණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ලබාගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡා වී ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.