කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක වකුගඩු ඒකකයේ සායනික අපද්‍රව්‍ය තොගයක්, ‍ෙදාම්පේ පහුරුවෙල
මාර්ගයේ වෙල් යායක් අසලට දමා ගිය ටිපර් රථයේ රියැදුරු සහ එහි සහායකයා ලෙස කටයුතු කළ පිය
- පුතු දෙපළක් රුවන්වැල්ල අමිතිරිගල ප්‍රදේශයේදී ඊයේ (04දා) දහවල් සැකපිට අත්අඩංගුවට ගත්බව
දොම්පේ පොලිසිය පවසයි.
‍ෙදාම්පේ සිට මල්වාන දක්වා දිවෙන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවතේ පහුරුවෙල වෙල්යාය අසල
මෙලෙස සායනික අපද්‍රව්‍ය අතහැර දමා තිබූ බවද පොලිසිය පවසයි. එම මාර්ගයේ ගමන් ගත්
පුද්ගලයකු කිසිවකු විසින් මාර්ගය අසල කසළ ගොඩක් ගිනි තැබීමට සැරසෙනු දැක ඒ පිළිබඳව විමසීමේදී
අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑම නිසා ඒ පිළිබඳව සැක සිතී ‍දොම්පේ පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීන් කළ පරීක්‍ෂාවේදී අතහැර දමා ගොස් තිබූ අපද්‍රව්‍ය කිසියම් රෝහලක
සායනික අපද්‍රව්‍ය බවට හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව කළ විමර්ශනයේදී අදාළ අපද්‍රව්‍ය තොගය
කොළඹ මාලිගාවත්ත වකුගඩු ඒකකයේ සිට කෑගල්ල ප්‍රදේශයට භාර දීම සඳහා රැගෙන යන අතරතුර
මෙලෙස මහ මඟ දමා ගොස් ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එම අපද්‍රව්‍ය අතර ලේ තැවරුණු ගෝස් කැබලි, පරිහරණය කළ ප්ලාස්ටර්, සේලයින් කටු සහ බෝතල්,
සායනික පිහිතල ආදී අපද්‍රව්‍ය රැසක් තිබී ඇත. මාර්ගයේ සවි කර තිබූ ආරක්ෂත කැමරා දර්ශන
විමර්ශනයෙන් පසු අපද්‍රව්‍ය දමා පලාගිය ටිපර් රථය හඳුනාගෙන ටිපර් රථයත් සැකකරුවන් දෙදෙනාත්
මෙලෙස අත්අඩංගුවට ගත් බව ‍දොම්පේ පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟින් ප්‍රවාහනය කළ ටිපර් රථයද අදාළ ස්ථානයට රැගෙනවිත්
සැකකරුවන් ලවාම නැවතත් අදාළ සායනික අපද්‍රව්‍ය ටිපර් රථයට පටවා එම ස්ථානයෙන් රැගෙන
යෑමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවන සැකකාර පිය - පුතු දෙපළ පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු
කරන බව දොම්පේ පොලිසිය පවසයි. ‍ෙදාම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර
සේනානායක මහතා පරීක්ෂණ පැවැත්විය.

පනාගොඩ - චම්පා ජීවන්ති
කිරිඳිවැල - ඩී.කේ.ඩී. රණවීර