ඕමාන් රටේ ගෘහ සේවයට ගිය දඹුල්ලේ තරුණියක් පසුගිය 24 වැනිදා මෙරටට පැමිණීමත් සමඟ අතුරුදන් වී
ඇතැයි ඇයගේ මව හඬා වැටෙමින් දියණිය සෙවීමේ කටයුතු ආරම්භ කරමින් සිටින්නීය.
එච්.එම්. චන්ද්‍රාවතී නමැති මෙම මව සිය දියණියගේ ඡායාරූපයක් සහ විදෙස් ගමන් බලපත්‍රයක
පිටපතක් අතැතිව තම දියණියට කුමන හෝ කරදරයක් සිදුවී යැයි පවසමින් ඇය සොයා දෙන්නැයි හඬා
වැටෙමින් සිටින්නීය.

මීට වසර දෙකකට ඉහත දී තම දියණිය වන
ඩබ්ලිව්. ජී. මානෙල් කුමාරි යන අය ඕමාන් රටේ ගෘහ
සේවය සඳහා පිටපත්ව ගිය බවත් පසුව ඇය වසර දෙක නිම වීමෙන් පසුව පසුගිය මාසයේ 24 වැනි දින
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණි බවද සඳහන් කළාය.

එදින සිට මේ දක්වාම තම දියණියට සිදුවූ දෙයක් නොමැති බවත් ඇය මේ වන විට අතුරුදන් වී ඇති බව
පවසන්නීය.

දිනපතාම එරට සේවය කරද්දී තමන්ට දුරකථන ඇමැතුම් ලබා දෙමින් සිටි බවත් ඇය කිසිම දිනක තමාට
ඇමැතුමක් ලබා නොදී සැඟවී සිටින්නේ නැති බවද ඇය පැවැසුවාය.

තම දියණිය සොයා දෙන්නැයි දඹුල්ල මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කළ බව ඇය සඳහන් කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් විමසීමේදී තම දියණිය පසුගිය 24 වැනිදා මෙරටට පැමිණ
තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ද තමා වෙත දැනුම් දුන් බව චන්ද්‍රාවතී මහත්මිය
වැඩිදුරටත් සඳහන් කළාය.

තම දියණිය පිළිබඳව තොරතුරක් වෙතොත් තමා වෙත දැනුම් දෙන්නැයිද ඇය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළාය.

දඹුල්ල - කේ.කේ. ආරියදාස