https://www.gossiplankanews.com/2019/09/galewela-jeep.html#more
රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපුරු කාර්මිකයෙකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්ක යායෙන් වාර්තා විය.එම ගම්මානයේ ජීවත් වන
ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි. කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම්කම් දැක්වූ ඔහු මේ වනවිට යතුරුපැදියක ඇන්ජිමක්
යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කර තිබේ.


මෙම අපුරු ජීප් රථය පැයට කිලෝමීටර් 70ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි බවත් විශේෂයෙන් සංචාරක කර්මාත්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්වයේ මෙය නිෂ්පාදනය කළ බවද සිසිර කුමාර මහතා සඳහන් කළේය.දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරත වන්නෙකි.

නිවසේ සිටින අවස්ථාවන්හිදී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව පැවසීය. මෙම වාහනයේ ගියර්, තිරංග, විදුලි පහන්, පසුපසට ගමන් කිරීමට, ආරක්ෂිත බඳ පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග පවතී.කුඩා කාලයේ හෙලිකොප්ටර් රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි ඇන්ජින් එකක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩාරථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ.


මේ වනවිට ධාවන තත්ත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂාකොට බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට  තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කර සිටියේය.

ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ්වලින් ඉවතලන විවිධ කොටස් යොදාගෙන මෙම ජීප් රථය නිපදවා තිබේ. මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීකෂා කිරීමට හැකි බවද ඔහු කියා සිටී.ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට තාමත් නොහැකි තත්ත්වයේ පසුවුවද විශාල මුදලක් වියදම් කොට විදේශ රටවලින් ගෙන්වන වාහන අතර සංචාරක ක්ෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සඳහා රජයේ සහයෝගය අවැසි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

-එස්.කරුණාරත්න-