මුලතිව්, කේපාපිලව් 11 වන ඉංජිනේරු බළකා කඳවුර ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී කිලෝ 250
යුත් අධිබලැති බෝම්බයක් පසුගිය (06දා) සවස හමු වූ බවට මුල්ලියාවේලි පොලීසිය පවසයි.

පසුගිය යුද සමයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ගුවන් හමුදා මිග් යානාවලින් මුදාහරින ලද බෝම්බයක් හෝ කොටි
සංවිධානය යුද හමුදාවේ යුද ටැංකි විනාශ කිරීම සඳහා යොදාගත් මර උගුල් බෝම්බයක් බවට පොලීසිය සැක පළකරයි. ප්‍රදේශවාසියකු අදාළ බෝම්බය දැක ඒ බව පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සොයාබැලීමේදී මෙම බෝම්බය හමුවී තිබේ.

දිගින් අඩි තුනහමාරක් පමණ වන මෙම බෝම්බයෙහි කොටසක් ගැලවී පුපුරාගොස් තිබූ බවත්, මෙම බෝම්බයෙහි කොටසක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් සම්පූර්ණයෙන් පුපුරා නොගොස් ආරක්ෂිතව තිබී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

සොයාගත් බෝම්බය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ බෝම්බ නිස්ක්‍රීය අංශ විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතය.

-මධුෂංඛ අමරසිංහ-