https://www.gossiplankanews.com/2019/09/carlo-fonseka-passed-away.html#more
ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද දහවල් සිය නිවසේදී  අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 කි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා 
කැලණිය විශ්ව විද්‍යාලයේ

වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් වන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 2012 වසරේ සි‍ට 2017 දක්වා එතුමා වෛද්‍ය සභාවේ කටයුතු කර තිබේ.
ඔහු ට්‍රොට්ස්කිවාදී සම සමාජ පක්ෂයේ (එල්එස්එස්පී) ප්‍රමුඛ සාමාජිකයෙකි.
ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර කෝට්ටේ එහි ශාඛාවට නායකත්වය දුන්නේය.පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචකයෙකු වූ අතර 1980 දශකයේ මුල් භාගයේදී හා පසුගිය වසර කිහිපයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට එරෙහි සටනේ පුරෝගාමියෙකු විය.

අවිද්‍යාව මූලික කරගත් අදහස් වලට ප්‍රබල පහරදෙන්නෙකු වූ ඔහු මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් සමාජය මුදවාගැනීමේ මෙහෙවරෙහි මියයනතුරුම  නිරත විය.

1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ  නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී  ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා තම පශ්චාත්  උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.
ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි. කාලෝචිත ගී (1992) රත්තරන් දුවේ (2006) ඔහුගේ රචනා ඇතුළත් ගීත ඇල්බම 2 ක්ද නිකුත්ව තිබේ.විජය කුමාරතුංග, රන්ජන් රාමනායක ඇතුළු කලාකරුවන්ගේ ළඟම ඥාතියෙකුද විය.
අවසන් කටයුතු මියගොස් පැය 8 ක් තුළ සිදුකරන්නට එතුමන් අන්තිම කැමැත්තෙන් ඉල්ලා තිබුණි.

අනෙක් ලිපිය
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් කටයුතු පැය 8 න් අවසන් (photos)