https://www.gossiplankanews.com/2019/09/ajantha-mendis-speaks.html#more
වසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි නොවී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම සම්බන්ධයෙන් දුකක් ඇති වුවද තමන් සමු ගැනීමට තීරණය කළේ කිසිදු කලකිරීමකින් තොරව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පැවසීය. මෙසේ ඔහු සිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම
ඊයේ (02දා) නිල වශයෙන් මාධ්‍යයට හෙළි කළේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම සමුගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස ඉදිරීයේදී සිය සේවය ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී පැවසුවේය.

අජන්ත මෙන්ඩිස් නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් මෙම සමුගැනීමේ නිල මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණ. මෙහිදී අජන්ත මෙන්ඩිස් සිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් නිල සමුගැනීම අද (03දා) පනාගොඩදී පැවැත්වෙන යුද හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සටහන් කරන බවද පවසා සිටියස්ය. අජන්ත මෙන්ඩිස් නියෝජනය කරන කාලතුවක්කු රෙජිමේන්තුවත්, යුධෝපකරණ බළකායත් අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජන්ත, "කිසිම කලකිරීමකින් නෙමෙයි සමුගන්නේ. මගේ අබාධය නිසා තමයි ගොඩ කාලෙකින් ක්‍රීඩා කරන්න ලැබුණේ නැත්තේ. මම රැල්ලට සමුගන්නවා නෙමෙයි. මම ආසාවෙන් හිටියේ මගේ රෙජිමේන්තුවේ තරගයක් ක්‍රීඩා කරලා සමුගන්න.

මම ඉදිරියේදී පුහුණුකරුවෙකු විදිහට එන්න තමයි බලාපොරොත්තු වන්නේ. මම පුහුණුකරුවෙක් ලෙස තෙවැනි ශ්‍රේණිය (level 3) සුදුසුකම් සමත් වෙලා තියෙනවා." යැයි පැවසුවේය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තමන්ගෙන් ඒ සම්බන්ධව ඉල්ලීමක් කළ බවද ඉදිරියේදී අවස්ථාවක් ලැබුණත් ඕනෑම අවස්ථාවක ඒ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සුදානම් බවද අජන්ත වැඩිදුරටත් පැවසීය.


"ක්‍රිකට් ආයතනය මගෙන් ඒ පිළිබඳව ඉල්ලීමක් කළා. පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කරන්න. මම ඔවුන්ට කිවිවා මට පුළුවන්, නමුත් කනිෂ්ඨ අංශයෙන් පටන් ගන්න පුළුවන් නම් හොදයි කියලා. ජාතික තලයට එනවා කියන්නේ පන්දු යවනක් පරිපූර්ණ වෙලා ඉවරයි. අපේ තියෙන අත්දැකීම් එක අපි බලන්න ඕන කොහොමද පොඩි ළමයෙක්ව ඒ තත්වයට ගේන්නේ කියලා. මම කැමැතියි 19න් පහළ, 15න් පහළ වගේ වයස් කාණ්ඩයන් අතර පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන්න, මම දැනට යුද හමුදා කණ්ඩායමේ දඟ පන්දු බළඇණිය පුහුණුකරන ගමන් ඉන්නේ. මට ක්‍රිකට් ආයතනයෙන් ආරාධනාවක් ආවොත් ඕන වෙලාවක මම සුදානම් ඒක භාර ගන්න."

මෙහිදී වත්මන් ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අජන්ත.
"ලංකාවේ දඟ පන්දු යවන්නන්ට හොද අනාගතයක් තියනවා. මම හිතනවා අකිල ධනංජයට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඉදිරියේදීත් අපි වයස අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ පන්දු යවන්නන් පුහුණු කළ යුතුයි. මම ක්‍රීඩා කළ කාලේ නම් ලොකු සැලැස්මක් තිබුණා. දඟ පන්දු යවන්නන්ට ඇකඩමි පවා තිබුණා.

මම හිතනවා ඒ යුගයටම ගියොත් අපිට හොද දඟ පන්දු යවන්නන් ලබා ගන්න පුළුවන්.” යැයි පැවසීය.

මෙහිදී සමුගැනීමේදී තමන්ට ජාත්‍යන්තර තරගයක් ලබා දෙන්නැයි අජන්ත ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු ඇසූ විට අජන්ත පැවසුවේ තමන් ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් නොකළ බවයි.

මෙහිදී සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන මතකය සම්බන්ධයෙන්ද අජන්ත හෙළි කළේය.
"මට ක්‍රිකට් දිවියේ විශාල කැමැත්තක් තිබුන සචින් තෙන්ඩුර්කාගේ කඩුල්ල දවා ගන්න. ඒක (කඩුල්ල දවාගැනීම) මට අමතක වෙන්නේ නෑ. යැයි මතකය ආවර්ජනය කළේය.


මෙහිදී අවසාන වශයෙන් ජාතන්තර තරගයක් නොමැතිව සමුගැනීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු විමසූ විට සිනාමුසුව පිළිතුරු දුන් මන්ඩිස් පැවසුවේ,
"දුකක් නෑ කියන්න බෑ, නමුත් මම අවුරුදු තුනක් ක්‍රීඩා කරන්නේ නැතුව ඉදලා ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩාකරන එක සාධාරණ නෑ. ඒත් මම කැමති දේ දිගටම කරගෙන යන්න පුළුවන් එක තමයි මගේ ලොකුම ආසාව. මම ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයටවත් මොකුත් කියන්නේ නෑ. මොකද මගේ පැත්තෙන් ඒක මගේ ආබාධත් එක්ක වුණු දෙයක්. හෙට තරගය (අන්තර් රෙජිමේන්තු තරගය) ක්‍රීඩා කරලා මට සමුගන්න ලැබුණත් ඒක අන්තර්ජාතික තරගයකටත් වඩා මට සතුටක් වෙයි." යනුවෙනි.

ඕෂිත වරකපිටිය