https://www.gossiplankanews.com/2019/09/97-saharan-hashim-defence-sec.html#more
හරාන්ගේ තව්හිද් ජමාත් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන විස්තර කර ඔවුන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ජාතික බුද්ධි අංශය 2017 වර්ෂයේ සිට 2019 අප්‍රේල් මාසය දක්වා 97 වතාවක් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට අවවාදාත්මක දැනුම් දීම් කර ඇති නමුත්
ඒ ගැන කිසිදු සැලකිල්ලක් යොමුකළේ නැති බව ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන ඊයේ (3 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
මුස්ලිම් අන්තවාදී කල්ලිය ළඟදීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව 2019 අප්‍රේල් 04 වැනිදා බුද්ධි අංශ ප්‍රධානී නිමල් ජයවර්ධන යැවූ ලියවිල්ලකින් ඉතා පැහැදිලිව දන්වා තියෙනවා.
ඒ අනුව නිසි පියවර ගනු ලැබුවේ නම් 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ විශාල ජීවිත හා දේපොළ විනාශය වළක්වා ගත හැකිව තිබුණා යැයිද ජනාධිපති නීතිඥ ජයවර්ධන පැවසීය.

ජනාධිපති නීතිඥ ජයවර්ධන එසේ පැවසුවේ 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීම ගැන රජයට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමිනි.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ සිසිර ද ආබෲ, බුවෙනක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක යන මහත්වරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන ඇතුළු කීප දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සමේ නම්කර ඇත.

ජනාධිපති නීතිඥ ජයවර්ධන මෙසේ ද කීය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිල වශයෙන් ඔවුන්ට පැවරී තිබූ රාජකාරිය ඉටුකර නැහැ. සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ක්‍රියාකාරකම් ගැන 2016 වර්ෂයේ සිටම බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු විටින් විට ඒ නිලධාරින්ට දන්වා තිබෙන බවට සාක්ෂි මේ වන විටත් දිවුරුම් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එනිසා ආරක්ෂක පියවර නොගැනීම ගැන ඒ දෙදෙනා ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.

2019 අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.00 පමණ මුලින්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පසුව වහාම ආරක්ෂක පියවර කිසිවක් ගෙන නැහැ. වාසනාවට තවත් ප්‍රහාර එල්ල වූයේ නැහැ. හදිසි නීතිය යටතේ ඇඳිරි නීතිය පැනවූවා හැර වෙන කිසිදු පියවරක් ගත්තේ නැහැ.


2016 වර්ෂයේ සිට මේ ත්‍රස්ත සංවිධානයේ තොරතුරු ලැබුණත් කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන සිටි අයත් නඩුවක් නැතිව නිදහස් කර හැරලා.

කොටහේන, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි පල්ලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුගේ බිරිඳක් ගොනුකර තිබූ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අධි නීතිඥ නුවන් බෝපගේ මහතා මීළඟට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

රටවැසියාට ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට රජය හා රජයේ නිලධාරීන් බැඳී සිටිනවා. ජීවත්වීමට ඇති අයිතිය අහිමි කිරීම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්. ජනාධිපති විධායකයේ ප්‍රධානියාය. ඔහු ත්‍රිවිධ හමුදාවේත් ප්‍රධානියා. ජනතාවට නිසි ආරක්ෂාව සැපයීමට ප්‍රධාන වශයෙන් පියවර ගත යුත්තේ ජනාධිපතිවරයායි.

එදා කතෝලික ජනතාව කොච්චිකඩේ පල්ලියට පුද පූජා පැවැත්වීමට ගියේ රජයෙන් ලැබිය යුතු ආරක්ෂාව ගැන විශ්වාසයක් ඇතිවයි.

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ විශාල ගොඩනැගිල්ලක් බිමට සමතලාවී නැතිවූ ජීවිතවලට විශාල වන්දියක් ගෙවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ඉන්දීය අධිකරණය තීන්දු කළේ ත්‍රස්තවාදී බෝම්බවලින් සිදුවන විනාශවලට රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවයි. ඒ ප්‍රහාරය සිදු නොවීමට රජය පියවර ගත යුතුව තිබූ බව නඩු තීන්දුවේ සඳහන් කරලා තියෙනවා.

ආරක්ෂක අංශ තවත් වරදක් කළා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බව තෝරාගත් පුද්ගලයන් කිහිපයකට දැනුම්දීම සැමට සමාන ආරක්ෂාව සපයන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති සහතිකයත් උල්ලංඝනය කිරීමක්. රටේ ජනතාවගේ ජීවිතවලට ප්‍රධාන වශයෙන් ජනාධිපති වගකිව යුතුයි. රජයේ නිලධාරීන් කීප දෙනකුට වගකීම පවරා නිදහස් වෙන්න බැහැ.

මීළඟට කරුණු ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ මනෝහරන් සිල්වා මහතායි. ඔහු පෙනී සිටියේ කොච්චිකඩේ පල්ලියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ටිකිරි රාජනායක නීතිඥවරයා වෙනුවෙනි.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ බොම්බ ප්‍රහාරවලින් සිදුවූ මහා ජීවිත හා දේපොළ විනාශයට රජය වග කිව යුතුයි. ඒ ගැන අධිකරණ විමර්ශනයක් පැවැත්විය යුතුය. රජයට හා රජයේ නිලධාරීන්ට එරෙහිව බැලූ බැල්මට නඩුවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ නිසා සම්පූර්ණ විභාගයක් පවත්වා තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුයි.

මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව දන්නේ නැහැ. ඒ ගැන මට කවුරුවත් කීවේ නැහැ කියල වගකීමෙන් නිදහස් වෙන්න ජනාධිපතිට හා අගමැතිට බැහැ.

ඇමැති මණ්ඩලය කියන්නේ රජයට. ජනාධිපති ඇමැති මණ්ඩලයේ බුද්ධි අංශ හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් දැනුවත් කළා නම් ඔවුනට තොරතුරු සැපවූවා නම් කිසිවක් දන්නේ නැහැයි රජය කියන්නේ කෙසේද

සිදු වුණේ දැන දැනත් නිසි ආරක්ෂක පියවර නොගැනීමයි. ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රුවන් වියවර්ධන රජයේ කොටස්කරුවෙක්. ඔහුත් දැනුවත් කරල තියෙනවා. සියලුදෙනාම කරලා තියෙන්නේ ජනතාවට ආරක්ෂාව සැපයී‍මේ යුතුකම පැහැර හැරීමයි. සිදුවූ විනාශයට ඇමැති මණ්ඩලය සාමූහිකව වගකිව යුතුයි.

සරත් ධර්මසේන