ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මෙරිල් පෙරේරා ඊයේ (3 වැනිදා) අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට හැත්තෑ තෙවැනි වියේ පසුවිය.
‘දිනමිණ’ පුවත්පතේ පානදුර වාර්තාකරු ලෙස එක්දහස් නවසිය හැටේ දශකයේ
මුල් කාලයේ පත්‍ර කලාව ඇරඹූ මෙරිල් පෙරේරා හැටපහේ දෙසැම්බර් 15දා ආධුනික පත්‍ර කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට එක් විය.
එදවස ඔහු සමග ලේක් හවුස් ආයතනයට පත්‍ර කලාවේදීන් අතර සිරි රණසිංහ. ඩබ්ලිව්.ජී. ගුණරත්න විමල් වීරසේකර ලක්ෂ්මන් ජයවර්ධන ද සිටියහ.
පුහුණුවෙන් පසු ජනතා පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ ඔහු එකල ‘ජනතා’ පුවත්පතේ කර්තෘ වූ ඩී.එෆ්. කාරියකරවන සූරීන්ගේ ගුරුහරුකම් යටතේ සිය දස්කම් මැනවින් ප්‍රකට කළේය. සම්මත ක්‍රමයට පයින් ගැසූ හිතුවක්කාර පත්‍ර කලාවේදියකු ලෙස ප්‍රකට මෙරිල් පෙරේරා
එතෙක් සිංහල පත්‍ර කලාවේ තිබූ පිටු සැකසුම් කලාව වෙනස් කිරීමට මූලික වූ අයෙකි. ඔහු ස්වකීය භාවිතාව වැඩියෙන්ම පෙන්නුවේ දිවයින පුවත්පතේ මුල් පිටුවෙනි.
දිවයිනට පැමිණීමට පෙර ස්වාධීන පුවත්පත් සමාගම ප්‍රකාශයට පත් කළ ‘දවස’ පත්තරයේ සේවය කළ මෙරිල් පෙරේරා එම පුවත්පතේ සිනමා අතිරේකයට සුවිශේෂී වෙනසක් කළේය.
එක්දහස් නවසිය අසූ ‍එකේ සැප්තැම්බරයේ ඔහු ​උපාලි පුවත්පත් සමාගමට එක් වූයේ ‘දිවයින’ පුවත්පතේ ආරම්භක ප්‍රධාන උප කර්තෘවරයා ලෙසය. ඉක්බිතිව නියෝජ්‍ය කර්තෘ, සම කර්තෘ හා ප්‍රධාන කර්තෘ ධුරයට පත් වූ මෙරිල් පෙරේරා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබවීය. උපාලි පුවත්පත් සමාගම සෙනසුරාදා මුද්‍රණය කළ ‘දිවමිණ’ පුවත්පතේ මෙන්ම ‘නවලිය’ පුවත්පතේ ද ඔහු ප්‍රධාන කර්තෘ ධුරය දැරීය.
මෙරිල් පෙරේරා පුවත්පත් කලාව මෙන්ම සිය වෘත්තීය දිවිය ගැන ග්‍රන්ථ කීපයක් රචනා කළ කතුවරයෙක් ද විය. ‘ආයුබෝවන් ආමර් වීදිය’ ‘දිවයිනේ විසි වසක්’ ‘පැණි වළලු’ ‘අතිරස’ ‘ආදරණීය තාත්තා’ ‘සැබෑ පත්තරකාර​යෝ ඔහු ලියූ පොත්ය.
අභාවප්‍රාප්ත මෙරිල් පෙරේරාගේ දේහය මහජන ගෞරවය පිණිස පානදුර, වලපල, ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය අසල අංක 203 දරන නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට 5 වැනිදා පස්වරුවේදී වලාන මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.