https://www.gossiplankanews.com/2019/09/25-utiya-story.html#more
හොරොව්පොතාන ශ්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසී වයස අවුරුදු 10 සහ 14 වියේ පසුවන සාමණේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදී මහජන කැලඹීමක් ඇති වන ආකාරයට අසංවර ලෙස ක්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මඟින්
සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට
ඉදිරිපත් කළ කුඩා වෙළෙඳසල් හිමියකු මේ මස 25 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව
දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (11දා) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්
අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග කළ
මහෙස්ත්‍රාත්වරයා, පහර කෑමට ලක්ව සිටින සාමණේර දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ
වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි
තවදුරටත් නියෝග කළේය.

මෙම සැකකරු කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් පදවිය
සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ

අවස්ථාවේ මෙලෙස නියෝග කළේය.

හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් ‘උටියා’ නමැත්තකු මෙසේ රක්ෂිත බන්ධනාගාර
ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන්
කළේ සැකකරුට අයත් කුඩා වෙළෙඳසලක් හොරොව්පොතාන මැදගම ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එම
වෙළෙඳසලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමණේර හිමිවරුන් දෙපළ ඉකුත් 10 වැනි දින පැමිණි
අවස්ථාවේ සැකකරු මෙම පහරදීම සිදු කර ඇති බවයි. රුපියල් 10ක් වටිනා චොක්ලට් දෙකක් මුදල්
නොගෙවා හොරොන් ලබාගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස
පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව අධිකරණයට සැලකළ
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාමණේර දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙඳසලෙන්
චොක්ලට් ලබාගෙන නැති බව පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළිවිණැයිද අවධාරණය කළේය.

සැකකරු, සාමනේර හිමිවරුන්ගේ කම්මුල්වලට මෙන්ම ශරීරයේ වෙනත් ස්ථානවලට අමානුෂික ලෙස පහර දෙන
අයුරු සිද්ධිය වූ ස්ථානයට අඩි 8ක් දුරින් පිහිටා තිබූ සීසීටීවී දර්ශන තුළ පැහැදිලිව සටහන්ව ඇති බවද
අධිකරණයට කියා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන
කැලඹීමක් ඇති වීමේ දැඩි

අවදානමක් පවතින බවද කීවේය. සැකරුගෙන් පහරකෑමට ලක් වූ වයස අවුරුදු
10 සහ 14 වියෙහි පසු වන සාමණේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව
වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප්‍රධාන
පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.

ජේ‍යෂ්ඨ නීතිඥයන් වන රංග සුජීව, අජිත් දිසානායක, තුෂාරි විජේනායක සහ දිලීෂියා දිසානායක යන
මහත්ම මහත්මීන් සහ කැබිතිගොල්ලෑව නීතිඥ සංගමයේ සියලුම නීතිඥයන් සාමනේර දෙනමගේ අයිතිවාසිකම්
වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව පෙනී සිටීමත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයකු හෝ
නීතිඥවරියක ඉදිරිපත් නොවීමත් විශේෂත්වයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ හොරොව්පොතාන පොලිස්
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ නියෝග මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමකි.

සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ කැබිතිගොල්ලෑව
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසිනි. ඒ සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ
මහතා ලබාදුන් විශේෂ නියෝගයකට අනුවය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, පදවිය - රත්න ඔබේසේකර