https://www.gossiplankanews.com/2019/08/wellawaya-student-throw-ball-story.html
සර පහක කාලයක් අඛණ්ඩව මෙරට පාසල් ත්‍රෝබෝල් ශූරයන් වූ මොණරාගල, වැල්ලවාය කුමාරදාස මහ විද්‍යාලයේ ත්‍රෝබෝල් කණ්ඩායම මලයාසීයාවේ සංචාරයකට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ගංගාවල වැලි ගොඩදමන කනගාටුදායක පුවතක් වාර්තා විය.
ජාත්‍යන්තර ත්‍රෝබෝල් ශූරතාවට මලයාසියාවේ පැවැත්වෙන
මෙම තරගවලියට වැල්ලවාය කුමාරදාස මහා විද්‍යාලයීය ත්‍රෝබෝල් කණ්ඩායම තෝරා ගනු ලැබ ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රෝබෝල් සංගමය විසිනි. ඒ මෙම පාසල් කණ්ඩායම වසර කීපයක් ත්‍රෝබෝල් ක්‍රීඩාවේ දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙනය.

"අපේ දරුවන් 2013 අවුරුද්දේ ඉඳලා අඛණ්ඩව වයස අවුරුදු විසෙන් පහළ දාහතෙන් පහළ සහ පහළොවෙන් පහළ පාසල් කාන්තා සහ පිරිමි ත්‍රෝබෝල් ශූරතා දිනලා තියනවා. මෙවර ලෝක ශූරතාට ත්‍රෝබෝල් ශුරතාවට ලංකාව නියෝජනයට තෝරගෙන තියෙන්නේ කුමාරදාස විද්‍යාලයේ අපේ දරුවෝ ටික.

ඔවුන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 21 ක මුදලක් වැයවෙනවා.
ගොවිතැන් බතින් ජීවත් වන මවුපියන්ගේ  දරුවන්ට මෙවැනි විශාල මුදලක් සොයා ගැනීම ලොකු අභියෝගයක්.  ඒත් ඒ හීනය දරුවන්ට ඉටු කරලා දෙන එක ගුරුවරුන් විදිහට අපේ වගකීමක්”.
වැල්ලවාය කුමාරදාස මහා විද්‍යාලයේ ත්‍රෝබෝල් කණ්ඩායම් නායකය උසුලන්නේ ඩබ්ලිව්. චමත් මිත්සර සිසුවායි. එම සිසුවා තම කණ්ඩායම මුහුණ දී ඇති අභියෝගය මෙසේ විස්තර කළේය.

"මලයාසියාවේ ලෝක ශූරතා තරගාවලිය අපේ පාසලටත් පළාතටත් විශේෂයෙන් පෞද්ගලිකව අපටත් ලොකු අවස්ථාවක්. එම අවස්ථාව කොහොම හරි ගන්න අපි උත්සාහ කරනවා. එහෙත් අපේ කණ්ඩායම් දෙකේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවගේ මව්පියගෙන් තුන් දෙනෙක් විතරයි ඉන්නේ රජයේ සේවයේ. අනෙක් සියලු දෙනා ගොඩක් දුප්පත් මපියන්ගේ දරුවො.

 ඒ දරුවන්ටත් සංචාරයට මුදල් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක්.  ඒ නිසා තමයි අපේ කණ්ඩායම  එකතුවෙලා මේ සංචාරයට අවශ්‍ය මුදල් හොයාගන්න ගඟේ වැලි ගොඩදාන්න තීරණය කළේ. එයිනුත් අපි දැනට සුළු මුදලක් හොයාගෙන තියෙනවා. ඒත් කවුරු හෝ අනුග්‍රාහකයෙකුගේ සහය ලැබෙනවා නම් හොඳයි".

වැල්ලවාය කුමාරදාය මහා විද්‍යාලයේ ත්‍රෝබෝල් කණ්ඩායමේ මලයාසියාවේ සංචාරයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පරිත්‍යාග කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ද මේ දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ එක හමාරක් ලබාදීමට කටයුතු කර ඇති බව පැවසේ. මෙම පාසල් ත්‍රෝබෝල් කණ්ඩායම් දෙක සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් හා විසා රැගෙන දීමට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු දුරකථනයෙන් පාසලේ විදුහල්පතිවරයාට කථා කොට එකගතාව පළ කර ඇතත් මෙතෙක් ඒ පිළිබඳව නිශ්චිතව නොදැක්වූ බව විද්‍යාලයේ විදුහල්පතිවරයා අප සමග කීය.

-නයනජීව බණ්ඩාර-