අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ මාවතගොඩ පරණ පොලිසිය අසල රථවාහන රාජකාරියේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකි. ගමනක් ගොස් ආපසු එමින් සිටි අප මාධ්‍යවේදියා තමන් දන්නා හඳුනන පොලිස් නිලධාරීන් හමුවී කතා බස් කරන අතර වාරයේ අරණායක සිට මාවනැල්ල දෙසට මහත් ඝෝෂාකාරී
හඩක් නඟමින් පැමිණෙන වාහනයක් දුටු එක් පොලිස් නිලධාරියකු එය දකුණට හරවා පාර අයින්නේ නවත්වන ලෙසට අතින් සංඥාවක් දුන්නේය.  ඒ අනුව වාහනයේ සැර බාල කළ රියැදුරා පොලිස් නිලධාරීන් අසල වාහනය නැවත්විය.

ඒ සමගම පොලිස් නිලධාරිවරයා වාහනය වටා රවුමක් ගොස් සිටි තැනටම පැමිණි පසු වාහනයේ රියැදුරාද ඉන් බැස ලියකියවිලි රැගෙන පොලිස් නිලධාරියා අසලට පැමිණියේය. වාහනය නැවැත්තුවේ ඇයි කියලා ඔයා දන්නවාද? කියා රියැදුරාගෙන් විමසද්දී ඔහු දෙපසට හිස වනා නොදන්නා බවක් හැඟවිය. ඔයාගේ වාහනයේ වැරැදි කීපයක් කරලා තියෙනවා.

එයින් ප්‍රධානම වැරැද්ද තමයි පාරේ යන මිනිසුන්ගේ විතරක් නොව දෙපස නිවාසවල අයගේද කන් අගුල් වැටෙන තරම් සයිලන්සරයේ ඝෝෂාකාරී ශබ්දයක් නිකුත්වීම. ඊට අමතරව තහනම් කර ඇති විදුලි ලාම්පු කීපයක් ඉදිරිපස සවිකර තිබීම. මෙතැන තවත් වැරදි කීපයක් තියෙනවා ඔයාම බලලා කියන්න යැයි පොලිස් නිලධාරියා කීය.

රියැදුරාත් පොලිස් නිලධාරියාත් අතර මෙවන් කතාබහක් වෙද්දී රිය තුළ සිට පැමිණි පුද්ගලයකු වට්ස් ද ප්‍රොබ්ලම්’ යනුවෙන් අසමින් එතැනට පැමිණියේය. “නෝ ප්‍රොබ්ලම්” යනුවෙන් පැවැසූ පොලිස් නිලධාරියා ‘මහත්තයෝ මේක ඉංග්‍රීරසියෙන් කතා කරලා විසදාගන්න ප්‍රශ්නයක් නෙවෙයි. මේ වාහනයේ අඩුපාඩු ගැන මම මෙයාට කීවා. ඒ ටික හරිගස්සාගෙන අපේ ස්ථානාධිපතිතුමා ළඟට ගිහින් මේ ලියවිලි ටික ලබාගන්න යනුවෙන් පවසද්දී එතැනට ආ දෙවැන්නා නිහඩවම ආපසු වෑන් රියේ අසුන් ගත්තේය.

පසුව පොලිස් නිලධාරියා දුන් උපදෙස් අනුව තිබුණු වැරැදි පිළිගෙන රියැදුරා පොලිසියට ගොස් රථවාහන අංශයේ නිලධාරියා ලබාදුන් දඩ කොළයද ගෙවා එතැනින් පිටව ගියේය.

-රත්න හේම්මාතගම-