https://www.gossiplankanews.com/2019/08/union-place-supermarket.html
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුපිරි වෙළඳ සලක මුදල් කවුන්ටරය භාර කළමනාකරුගේ මුරපදය (පාස්වර්ඩ්) හොර රහසේ යොදා ගෙන මුදල් කවුන්ටරයෙන් රුපියල් එකෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන මුදල් අයකැමිවරියක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. මුදල්
යන්ත්‍රයේ තිබූ රුපියල් 41,000ක මුදලක් සැකකාරිය සපත්තුවේ සගවා ගන්නා අන්දම ආයතනයේ සී සී ටී වී කැමරාවල පටිගත වීම හේතුවෙන් ආයතනය සැකකාරිය අත්අඩංගුවට ගෙන එම මුදල
සොයාගනු ලැබිය.

මුදල් ගෙවීමේ යන්ත්‍රයේ යම් දෝෂයක් සිදු වුවහොත් කවුන්ටර් භාර කළමනාකරු පැමිණ 
යන්ත්‍රයන්ට මුරපදය ඇතුළත් කර එය යථා තත්ත්වයට පත් කරන බවත් එම අවස්ථාවේ මුදල් යන්ත්‍රයේ සඳහන් බිල අක්‍රිය වන බවද පොලිසිය කියයි. සැකකාරියගේ මුදල් යන්ත්‍රය අක්‍රිය වූ අවස්ථාවක එය යථා තත්ත්වයට පත් කරීම සඳහා කළමනාකරු ලබාදුන් මුරපදය මතකයේ තබාගෙන ඇය මෙම වංචාව සිදුකර ඇති බවට පොලිසිය පවසයි.

මෙම සුපිරි වෙළදසලට විදේශිකයන් පැමිණි දිනකට රුපියල් ලක්ෂය, 50,000 අතර මිලකට භාණ්ඩ මිලදී ගන්නා බවත් විදේශිකයන් එම භාණ්ඩ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවූ පසු සැකකාරිය මුරපදය යොදා එම බිල අක්‍රිය කර එම බිලෙහි සියලු මුදල් ඇය සඟවා ගන්නා බවට පරික්ෂණවලදී හෙළි වී ඇත.සැකකාරිය මාස කිහිපයක සිට මෙම වංචාව සිදුකර ඇති අතර රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක අඩුවක් ඇති බවට විගණන වාර්තාවලින් හෙළි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.


පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 38 ක මුදලක් ඇගේ මවගේ ගිණුමට බැරකර තිබූ බවද පොලිසිය කියයි. ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි  28 හැවිරිදි මෙම තරුණිය මීටර වසර 2කට පමණ ඉහත දී ආයතනයේ සේවයට පැමිණ ඇති බවද සඳහන් වේ. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

-ඉන්දික රාමනායක-