රටේ ජාතික ආරක්ෂාවට හැල්ලුවට ලක්කරන අන්දමේ වාචාල කතා කියන ආණ්ඩුවේම අමාත්‍යවරුන් සහ පාර්ලිමේත්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කරන කතා හා ඉදිරිපත් කරන විවේචන නිසාම මෙවර මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර නැරඹීමට මහනුවරට පැමිණි ජනතාවගේ අඩුවක් වූ බව
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරහර සංදේශය භාර ගැනීමෙන් පසුව මහනුවරදී ඊයේ (16) පැවසීය.

දින 21 ක් තිස්සේ පැවැති මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර සාර්ථකව නිමා කළ බව සඳහන් පෙරහර සංදේශය ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් භාර ගැනීමෙන් පසුව මහනුවර ජනපති නිල නිවසේ පැවැති විශේෂ රැස්වීමේදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කිය. ජනාධිපතිවරයා මෙසේ ද පැවසිය.

රටේ ඡාතික ආරක්ෂව ගැන කතා කරන ඔය මහ යුද විශේෂඥයන් පසුගිය යුද්ධ සමයේ අපේ යුද විරුවන්
1000 - 500 එක තැන ජීවිත පූජා කරන විට කොහේද හිටියේ කියල අහන්න මට සිද්ධ වෙනවා. කුහක දේශපාලනය හා කට වාචාලකම නිසා රටේ ඡාතික ආරක්ෂාව පහතට දමා කතා කරන එක නුසුදුසු බව කිව යුතුව තිබෙනවා.  දේශපාලනඥයන්ගේ කුහක කතා නිසා මහනුවර ඇසළ පෙරහර නැරඹිමට මහනුවරට පැමිණිමට ජනතාව කිසියම් බියකින් පසුවුණා.

ඒත් පෙරහර ආරම්භ වීමට මාස කීපයක සිට පොලිසිය, ත්‍රිවිධ හමුදාව, අපේ බුද්ධි අංශ නිලධාරීන් ඉතා කැපවීමෙන් පෙරහර ආරක්ෂාවට කටයුතු කළා.මේ රටේ තිබෙන පහත් අයහපත් දේශපාලන සංස්කෘතිය නිසා ඇතැම් දේශපාලනඥයන් රටේ ආරක්ෂාව පිළිබඳ ඉතා යහපත් වාතාවරණයක් තිබෙන අවස්ථාවක සිදුකරන වාචාල කතා නිසා  ජනතාවගේ සිත් තුළ ඡාතික ආරක්ෂාව සම්බන්ධව කිසියම් සැකයක් මතුවෙනවා.

ජයන්ති සිරිසේන මහත්මිය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ද රාජ්‍ය නිලධාරින්, අමාත්‍ය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද  එම අවස්ථාවට සහභාගි වූහ.

-ජේ.ඒ.එල්.ජයසිංහ-