https://www.gossiplankanews.com/2019/08/tikiri-real-situation.html
හනුවර ඇසළ පෙරහැරට ගෙන්වා සිටි 70 හැවිරිදි ටිකිරි නම් ඇතින්න එක්දිනක් වීදී සංචාරය කිරීමෙන් පසු  විෂ්ණු දේවාලයේ පෙරහැරේ වීදි සංචාරය නොකරන බව පෙරේදා දැනුම් දී තිබුණි. සිරුරේ ඇට සැකිල්ල පෑදී ඉතා වයෝවෘද්ධ පෙනුමක් සහිත ටිකිරිගේ ඡායාරූප සමග මෙම පුවත සමාජ මාධ්‍ය වලට පුවත් මවන ආරංචියක් බවට පත්වූයේ 'සත්ව හිංසනයක්' සිදුවන බවට
චෝදනාවක්ද සමගිනි. නමුත් මෙම චෝදනාව බැලුබැල්මට කර තිබුණත් එහි සත්‍ය තත්වය වෙනත් දෙයක් බව මේ වනවිට කරුණු පැහැදිලි කර දී තිබේ.
චෝදනා කළ අය දක්වා තිබූ එක් සටහනක් මෙසේය.

'මේ ටිකිරි, 70 හැවිරිදි රෝගී ඇතින්නක්. ඇය මේ පාරත් පෙරෙහැරට සේවය කළ යුතු අලි 60 දෙනාගෙන් කෙනෙක්. ටිකිරි හැමදාම පෙරහැරේ හවස ඉඳලා මධ්‍යම රාත්‍රිය වෙනකන්ම ගමන් කරනවා. ඇය හැම රාත්‍රියකම ගින්දර, දුම්, ශබ්දය මැද්දේ කිලෝමීටර් ගණනාවක් ඇවිදිනවා පෙරහැරෙන් මිනිසුන්ට ආශීර්වාද කරන්න හිතාගෙන. ඇයගේ ඇඳුම නිසා ඇගේ අස්ථි ශරීරය
හෝ ඇගේ දුර්වල තත්වය කිසිවෙකුට පේන්නෙ නෑ. 

ඇගේ වෙස්මුහුණ අලංකාර කරන දීප්තිමත් විදුලි බුබුලු වලින් තුවාල වුන ඇගේ ඇස්වල කඳුළු කාටවත් පේන්නෙ නෑ.. ඇය ඇවිදින විට ඇගේ කකුල් විලංගු දාන තියෙන නිසා ඇයට පියවර තැබීමට අපහසු බව කාටවත් පේන්නෙ නෑ.

ඔනෑම ඇදහීමක් විෂ්වාසයක් ඒ විශ්වාසය වෙනත් කෙනෙකුට බාධාවක් හෝ හානියක් නොකරන තාක් කල් සියල්ලන්ට විශ්වාස කිරීමට අයිතියක් තියෙනවා. ඒත් තව ජීවිතයක් දුක් විඳීමට සලස්වනව නම් මෙය ආශීර්වාදයක් හෝ ශුද්ධ දෙයක් ලෙස හඳුන්වන්න පුලුවන්ද?
ආදරය කිරීම, හානියක් නොකිරීම, කරුණාව හා දයානුකම්පාව යන මාවතක් අනුගමනය කිරීම, මෙය බුදුන්ගේ මාර්ගයයි. එය අනුගමනය කිරීමට කාලයයි.'

නමුත් ටිකිරි පෙරහැරට සම්බන්ධ කිරීම බලහත්කාරයෙන් සිදුවූවක් නොවන බවත් ඇගේ සිරුරේ පෙනුම හා නිරෝගී භාවය කරුණු දෙකක් බවත් වෛද්‍ය තරිඳු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දන්වා ඇත. වසර 50 කට වැඩි කාලයක් පෙරහැරට අලිඇතුන් සපයන ටිකිරිගේ හාම්පුතා වන කෑගල්ලේ තිලකරත්න මහතා මෙම ඇතින්න ඉතා හොඳින් බලාකියාගන්නා බවත් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බවත් දන්වා තිබෙන අතර ඇගේ ආහාර අවශෝෂණ දුබලතාව නිසා සිරුර වැහැරීම සිදුවූ පසු අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් දන්වා ඇත. නමුත් එම දුබලතාව ඇය රෝගී කර නැති බවද වෛද්‍ය තරිඳු දන්වා ඇත.

ටිකිරි දළදා මාලිගාවේ ඇතින්නක් හෝ දළදා පෙරහැරට සම්බන්ධ ඇතින්නක් නොවූ අතර විශ්ණු දේවාලේ

පෙරහැරට මුලින් සම්බන්ධව සිටියාය. පෙරහැර 100 කට වැඩි අත්දැකීම් ඇති ටිකිරි දළදා පෙරහැරට සම්බන්ධ වන්නේ ඉන් පසුවය.

වැහැරී ගිය සිරුරක් තුබුනත් ටිකිරි ඉතාමත් නීරෝගී ඇතින්නක් බව වෛද්‍ය මතයයි. නුවර පෙරහැරට සම්බන්ධ වන අලි ඇතුන් සියළු දෙනාම පෙරහැරට කලින් දවසට තුන්වතාවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කරන අතර ඔවුන් අලින්ගේ නිරෝගීභාවය,

 ලෙඩරෝග ගැන  මානසික තත්වය පරීක්ෂා කර සපයන වාර්තාවේ ප්‍රතිඵල මත පෙරහැරට සම්බන්ධ කර ගැනේ. ටිකිරි ඇතින්නගේ වැහැරීගිය සිරුරක් තිබුනද අනිත් සෑම අතින්ම නිරෝගී ඇතින්නක් බව මෙවරද තහවුරුවී ඇත. නමුත් මෙවර පළමු දිනයේ සංචාරයෙන් පසු පෙරහැරට සම්බන්ධ කර නොගැනීමට විශ්ණු දේවාලයේ බස්නායක නිළමේතුමා හා හාම්පුතා තීරණය කර තිබේ. ඊට හේතුව ඇතින්නගේ හාම්පුතා ඇතින්න වෙනුවෙන් කළ භාරයක් ඔප්පු කිරීමක් ලෙස පළමු දිනයේ පමණක් සංචාරය කිරීම බවද වාර්තා විය.
මීට වසර පහකට පමණ පෙර මියගිය මැණිකේ ඇතින්න වයස 93ක් වනතුරු පෙරහැරට සම්බන්ධව සිටි ඇතින්නකි.

මදකිපීම නිසා මහනුවරට නොපැමිණි නැදුන්ගමුව රාජාද 69 වන වියේ පසුවන පෙරහැරට සම්බන්ධ කරගන්නා ඇතෙකි.
ටිකිරි ගැන සත්‍ය තත්වය වෛද්‍ය තරිඳු විස්තර කරන වීඩියෝවක් පහතින්