https://www.gossiplankanews.com/2019/08/hakeem-house-theft.html
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවෙසේ නිදන කාමරය තුළ තිබි ලක්ෂ හැටක මුදලක් සොරාගතේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම නිවෙසේ සේවය කළ සේවිකාවක හා සේවකයකු ලබන අගෝස්තු 19 වැනි දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (5දා) නියෝග කළාය.
මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ අඹේකොට්ට, දිගන පදිංචි වේලායුදම් බාලචන්ද්‍රන් නොහොත් අබ්දුල් රහුමාන් හා හැරෝවත්ත, කූඩළුඔය පදිංචි සත්‍යවේලු ශාන්ති කුමාරි නමැති සැකකරු හා සැකකාරියයි.

මේ පිළිබඳව පසුගිය ජූලි මස 28 වැනි දින මලලසේකර මාවත, කොළඹ 07 පදිංචි මන්ත්‍රි රාවුෆ් හකීම් මහතාගේ බිරිය වන ඉසිනෝල් ශානත් හකීම් මහත්මිය විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි කළ බවත් පසුව මේ පිළිබඳ කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකළ බවත් පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

රවුෆ් හකීම් මහතා විසින් ජුනි 10 වැනි දින කාර් රථයක්

විකුණා රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් බැංකුගත කරන තෙක් ප්‍රවේශම් කිරිම සඳහා තමා වෙත ලබාදුන් බවත් පසුව එම මුදල තම නිදන කාමරයේ ඇද යට බෑගයක දමා තිබූ බවත් පසුව බැලීමේදී එම මුදල් නොමැති බව දැනගත් විට තම සේවිකාවන්ගෙන් ඒ පිළිබඳ විමසූ අවස්ථාවේදී ඔවුන් ඒ පිළිබඳ නොදන්නා බවට ප්‍රකාශ කර සිටි බව පැමිණිල්ලේ සටහන්වී ඇති බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වා සිටියේය.

පසුව මෙම සැකකාරිය හා සැකකරු විවිධ හේතු පවසා නිවෙසින් ගොස් ඇති බවත් පසුව 2019.07.28 දින තම නිවෙසේ වැසිකිළි පද්ධතිය උතුරා යෑම නිසා එය අලුත්වැඩියා කටයුතු සිදු කරන විට ඉරන ලද 5000 මුදල් නෝට්ටුවක් සොයාගෙන ඇති බවත් සේවිකාවන් භාවිත කරන වැසිකිළි නළ පද්ධතිවල ඉරුණු පන්දහසේ නෝට්ටු 34ක් පමණ සොයාගත් බවත් පැමිණිල්ලේ සටහන් වූ බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පසුව මේ පිළිබඳ සිදුකරන ලද විමර්ශනයන් අනුව මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අධිකරණයට ඉදිරිපත් කළ පරිවේශනයන්ට අනුව තමා සේවය කළ ස්ථානය හැරයෑම, සේවක වැසිකිළි නළ පද්ධතියේ තිබී මුදල් කැබලි හමුවීම යන කරුණු මත පදනම්ව මෙම සැකකරුවන්ට ඇප ලබාදිය නොහැකි බව පැවැසූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

-හංසි නානායක්කාර-