මෙලොව එළිය දැක මාසයකින් පසු ප්‍රංශ යුවළකගේ දරුවන් ලෙස හැදුනු වැඩුණු ශ්‍රී ලාංකික දියණියක හා පුතකු තමන්ට ජන්මය ලබා දුන් මවුවරුන් සොයාගැනීමේ අදිටනින් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. මවුවරුන් දෙපළකට දාව මෙරටදී මෙලොව එළිය දැක ප්‍රංශ ජාතික මාපිය යුවළකගේ
දරුවන් ලෙස වැඩුණු මේ දෙන්නා අක්කා හා මල්ලී ලෙස දැඩි සහෝදර බැදීමකින් වෙලී සිටිති.

1986 පෙබරවාරි 19 වැනිදා රත්නපුර රෝහලේදී උපත ලබා ඇති නිලන්තිගේ මව  ගෝනගල ප්‍රදේශයේ උපන් ගොඩකුමාරගේ සෝමාවතී යනුවෙන් සඳහන්ය. 39 හැවිරිදි වියේදී දියණිය ප්‍රසූත කළ මව ඇහැලියගොඩ මාහිංගොඩ පදිංචිකාරියක ලෙස උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත. ප්‍රංශයට ගිය ඇය නුර් නිලන්ති යනුවෙන් නම් තබා ඇති අතර, මේ වනවිට නර්ථන ශිල්පිනියක ලෙස කලායතනයක් පවත්වාගෙන යන්නේ එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරමිනි.


නිලන්ති හදාවඩා ගන්නට භාරගත් ප්‍රංශ යුවළ ඇයද කැටිව 1987 දී යළි ලංකාවට පැමිණ ඇත්තේ තවත් දරුවකු ලබාගන්නා අදහසිනි. ඒ අවස්ථාවේ මේ යුවළට හමුවී ඇත්තේ වතුපිටිවල රෝහලේදී 1987 ජුනි 20 උපන් සිරිවර්ධන  නම් දරුවෙකි. ඔවුන් මේ පුතණුවන්ද භාරගෙන ඇත්තේ දැඩි දාරක ප්‍රේමයකිනි. ඔහුගේ මව කුඩා වෙළබඩගේ සකුන්තලා චන්ද්‍රකාන්ති ලෙස සඳහන්ය.

ඇය දරුවා ලැබීමට ලියාපදිංචිව ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක වශයෙන් බව උප්පැන්න ලේඛනයේ සඳහන්ය. ඇය දරුවා බිහිකර ඇත්තේ වයස අවුරුදු දහනවයේදීය. වෙළඳ ව්‍යාපාර උපදේශකයකු වන සිරිවර්ධන දැන් නීල් කෙයුඩ් යන නමින් හැඳින්වේ.

මේ අක්කා හා මල්ලී ඉල්ලා සිටින්නේ තම මවුවරුන් දෙපළ සොයා ගැනීමට උදවු කරන ලෙසයි. හඳුනාගන්නා මවුවරුන්ගේ ඩී.එන්.ඒ  ගළපා සහතික කරගැනීමටද ඔවුන් අදහස් කරති. තම මවුවරුන් ගැන කිසියම් තොරතුක් වෙතොත් 33695801404 අංකයට හෝ  072 4238288 අංකයට දන්වන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.
-මීරිගම කාන්ති-