ලොව රාජ්‍යයන් 40කට අධික සංඛ්‍යාවක සිටින බෝරා මුස්ලිම් ජාතිකයන් 25,000කට ආසන්න පිරිසක් ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජාතන්තර දවුදී බෝරා සමාජය (International Dawoodi Bohra Community) මගින් සංවිධානය කරනු ලබන
බෝරා ගෝලීය සමුළුව 2019 (Bohra Global Convention 2019) වෙනුවන් මෙම පිරිස මෙරටට පැමිණයි.

ලබන සැප්තැම්බර් 01දා සිට 10දා දක්වා දින 10ක කාලයක් බම්බලපිටියේ පිහිටි දවුදී බෝරා මස්ජීඩ් ලෙස හැදින්වෙන බෝරා මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වෙනු ඇත.

මෙම සමුළුව සහ එම සමුඵවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ (23දා) පෙරවරුවේ සංචාරක, වනජීවි සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු

අනාවරණය කෙරිණි. මෙම සමුළුව පාස්කු ඉරිදා ප්‍රහාරයන් පසුව මෙරට තුළ සංවිධානය කෙරෙන පළමු වැනි ප්‍රධාන පෙළේ ජාතන්තර සමුළුවද වෙයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, පසුගිය වසරේදී මෙම සමුළුව පැවැත්වීමට නියව තිබුණත් එය සිදු නොවුණු බවත්, මේ මොහොතේදී එය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම සඳහා බෝරා සමාජය සහ එහි නායකයන් ගත් තීරණය පිළිබඳව තමන් ඔවුන්ට ස්තුතිවත්ත වන බවත් පවසා සිටියේය.

"මේ සමුළුව සඳහා දැනටමත් 25,000කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ප්‍රකාශ වෙලා තිබෙනවා. මෙතනදී ආදායම පමණක්ම නෙමෙයි, අපේ රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ ප්‍රචාරයත් වටිනවා. මේ සමුළුවට සහභාගි වන්නට හොඳ ආරක්ෂාවක් ලබාදෙන්න දැනටමත් කටයුතු යොදා තිබනවා. ඒ වගේම, මේ හරහා රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 50ක් පමණ විය හැකි බව ගණන් බලා තිබෙනවා." අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී දැනටමත් හෝටල් කාමර 3,000ක් මෙම අවස්ථාව වෙනුවෙන් වෙන්කෙරී ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවක් උද්ගතව ඇති හෙයින් අවිධිමත් සංචාරක නවාතැන් කර්මාන්තයේ දායකත්වයද මීට ලබාගැනීමට කටයුතු කරන බවත්

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

"මේ පැමීණෙන සියල්ලන්ට කිසිදු බාධාවකින් තොරව පහසුකම් සලසත්ත අප වගබලා ගන්න ඕන. ගුවන් තොටුපොළෙහි ඉදන්, ප්‍රවාහන, හෝටල් පහසුකම් යනාදී සෑම දෙයක්ම එතනදී වැදගත්. එක කණ්ඩායමකට පමණක් මෙය තනිව කරන්න බැහැ. බලධාරින් සියලූදෙනා මීට එක්විය යුතුයි.” අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ අතර, සමුළුව සඳහා පැමිණෙන සියලු රාජ්‍යයන්හි නියෝජිතයන් සදහා වීසා නිදහස් පහසුකම ලබාදීමටද තීරණය කර තිබේ. ඒ අනුව,දැනට එම නිදහස ලබාදී ඇති රාජ්‍යයන් 48 පරිභාහිර වෙනත් රාජ්‍යයන් වෙත වෙනත් ක්‍රමවේදයක් හරහා මෙම පහසුකම පිරිනමන බව මෙම අවස්ථාවට සහභාගි වූ ගුවන් තොටුපොළ ආගමන විගමන පාලක පසන් රත්නායක මහතා සඳහන් කළේය.

මෙම බෝරා සමුළුව වෙතපැමිණෙනන පිරිස් අදාළ දින 10 තුළදී ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වෙත සංචාරය කරනු ඇති බවත්, ඒ අනුව, මෙම එක් අයෙකු දිනකට වියදම් කරන මුදල ඩොලර් 1,500ක් පමණ වන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. විශේෂයෙන්ම, ආදායම සංචාරක ක්ෂේත්‍රයේ සෑම අංශයක් වෙතම බෙදී යන බවටද මෙරට සංචාරක බලධාරීන් බලාපොරොත්තු තබා සිටියි.

2007 වසරේදීද මෙවැනිම ආකාරයේ ගෝලීය බෝරා සමුළුවක් මෙරටදී සංවිධානය වී ඇති අතර, එම අවස්ථාවේදී ලොව රාජ්‍යයන් රැසක බෝරා ජාතිකයෙක් 30,000 කට ආසන්න පිරිසක් මෙරට පැමිණ තිබේ.මේ  දක්වා ගෝලීය බෝරා සමුළු 5ක් ලොව පුරා රටවලදී සංවිධානය වී ඇත. මේ වසරේ පැවැත්වෙන මෙම සමුළුවත් සමග මෙරට පැමිණෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2ක් පමණ වනු අතැයිද සංචාරක අමාත්‍යාංශය අදහස් කරගෙන සිටියි.

භානුක අමරසිංහ