https://www.gossiplankanews.com/2019/08/anuradhapura-father-kite-show.html
සසුනට පූජාකර සිටින සිය පුත්‍රයා වැඩවසන විහාරස්ථානයට පුණ්‍යාධාරයක් එක්කාසු කර දීමේ අරමුණින් දැවැන්ත සරුංගලයක් නිර්මාණය කර එය අද (15) දා දිනයේ ගුවන්ගත කිරීමෙන් අනතුරුව එය ගුවනේ රඳවා
තිබෙන ආධාරක ලණුව ඔස්සේ අඩි 1,200ක පමණ ගුවනට ගොස් වීරෙ වික්‍රමයක් දැක්වීමට තරුණ පියෙක් සුදානම් වෙයි.

එකී වික්‍රමය දැක්වීම සඳහා අනුරාධපුර නගර ආසනයේ පිහිටි වැව් පිටියක දැවැන්ත සරුංගලය නිර්මාණය කරමින් සිටින්නේ තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිව දැනට ස්ථිර පදිංචි ලිපිනයක් නොමැති 46 හැවිරිදි දෙදරු පියකු වන කේ.ඩබිලිවි.ඊ.එස්.ඩී.රෝහණ කුමාර මහතායි.

ඒ මහතා විසින් පොහොර උර 25කට ආසන්න ප්‍රමාණයක් වියළි උණ බට, උණ පතුරු ලණු හා නූල් උපයෝගී කරගනිමින් කෙරෙන මේ දැවැන්ත සරුංගලයේ ඉදිකිරීමි කටයුතු ඊයේ (14දා)
දහවල් වනවිට අවසන් කරමින් සිටි අතර සරුංගලය නිමවා අත්හදා බැලීම් සඳහා සවස් කාලයේ ගුවන්ගත කිරීමට නියමිතව තිබිණි. වර්ග අඩි 79 625ක් වන සරුංගලයේ උස අඩි 30ක් වන අතර එහි පළල අඩි 49කි.

සිය වික්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ. ඩබිලිව්.පි.එස්.ඩී. රෝහණ කුමාර මහතා ,මගේ පොඩි පුතා සසුන්ගතවෙලා ඉන්නේ.උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයට පුණ්‍යාධාර එක් රැස්කර දීම සඳහා වික්‍රමය කරන්න හිතුණා.මීට පෙර අවස්ථා 13 කදී මම දැවැන්ත සරුංගලය හදලා ගුවනට යවලා මමත් ලණුව දිගේ ගුවන්ගත වෙලා තියනවා.

උණ බට කපලා වේලගන්න මාසයක් විතර කාලයක් ගියා. සරුංගලය හදන්න නම් මටපැය 24ක් යන්නෑ. මේ සඳහා ප්‍රදේශවාසීන් විශාල සහයක් දෙනවා. කමල් අයියා මට ගොඩක් උදවු කරනවා. අද (15දා)  දහවල් ගුවන් ගත කරන සරුංගලය නිමකිරීම් සඳහා රුපියල් 40,000ක් පමණ වැය වන අතර ඔහු එම මුදල් උපයාගෙන තිබුණේ කුලීවැඩ කරමින්. ශත පහක්වත් මම කාගෙන්වත් ඉල්ලුවේ නෑ. සරුගලයට පොහොර උර 125 ක් විතර අවශ්‍යයයි.පොහොර උර දෙකට පළලා සරුංගලයේ ආධාරකවලට තියලා මහනවා. මිලිලීටර් 12  නයිලෝන් කඹයක් උපයෝගී කරගෙන සරුංගලය ඉහළ අහසට යවනවා.

මගේ අරමුණ අඩි 1,000-1,200ත් අතර උසකට සරුංගලය ගුවන්ගත කරන්න. පොඩි ගැටලුවකට තියෙන්නේ වැව ආසන්නයේ අධි බලැති විදුලි කම්බි තියනවා. ඒවායේ ගෑටෙන් නැති වෙන්න සරුංගලය ගුවනට යවන්න ඕනෑ.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙනුත් අවසරය ඉල්ලුවා.

මම  සරුංගලය ගුවනට යවලා විනාඩි කිහිපයක් තුළ සරුංගලයේ ලණු ඔස්සේ සරුංගලය මුදුනට යනවා. කවුරු හරී අභියෝගයක් කළොත් සරුංගලය අඩි 5,000ක් උඩට හරි යවනවා. මමත් ලණුව දිගේ උඩට ගිහිල්ලා පෙන්වනවා.

බුදු දහමට අනුව අපි කවුරුත් මැරෙනවා. මම හෝටල් කාමරයක හිටියත් ගුවනට ගියත් මැරෙන්න තියනවා නමි මැරෙනවා. මරණයට මම කිසිදු බියක් නැතිව මේ වික්‍රමය කරනවා.

"මම ඉපදුණේ තලවාකැලේ. මගේ පියා රාජකීය ගුවන් හමුදාවේ සේවය කරලා පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැන්ටර් කෙනකු හටියට සේවය කරලා තියෙනවා. තාත්තා යන යන තැනට අපිත් ගිහිල්ලා තියෙනවා. මට ස්ථිර ලිපිනයක් නෑ, මගේ දැන් ලිපිනය මේ වැව් පිටිය තව දවස් කිහිපයකින් තව තැනෙක, හම්බකරන දේවල් මම බුදුසසුනට පූජා කරනවා. මට ඉන්න කියලා බිම් අඟලක්වත් නෑ." යනුවෙන් ඔහු පැවැසුවේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය