කිසිම දේශපාලන කාර්යයක නිරත නොවී හුදෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීම සඳහා දේශපාලන පක්ෂයක් ලීයාපදිංචි කිරීමේ අවශ්‍යතාව පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලුම්පත් ඉදිරීපත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අතිවිශාල අයදුම්පත්‍ර සංඛ්‍යාවක් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නීතියේ ලිහිල් බව හේතු කොටගෙන,
වසර කිහිපයක් පොදු සමාජ කටයුතු හා සුබසාධන ක්‍රියාකාරකම්වල පමණක් නිරත වූ එහෙත් දේශපාලන පක්ෂයක් ලෙස ලීයාපදිංචි කිරීමට වෙනත් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් විසින්ද ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට වෙනත් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් විසින්, ඇතැම් සමිති සමාගම්, සමහරවිට පොදු කටයුතුවල නිරත සුබසාධක සංගම් පවා දේශපාලන පක්ෂ වශයෙන් පිළිගන්නා ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙලඹී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කරයි.

මෙම නීතිය සංශෝධනය විය යුත්තේ කෙසේද යන සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට කතිකාවතක් පැවැත්වීමේ අවශ්‍යතාව මතු වී ඇතැයිද සභාපතිවරයා පෙන්වා දෙයි.

පිළිගත් දේශපාලන පක්ෂ හා උනන්දුවක් දක්වන අදාළ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් මෙම  කතිකාවත පැවැත්වීමට මැතිවරණ කොමිසම්  සභාව අපේක්ෂා කරයි.දේශපාලන පක්ෂ පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙන්, ලියාපදිංචි දේශපාලන පක්ෂ (Registered Political Parties) සහ පිළිගත් දේශපාලන පක්ෂ (Recognized Political Parties) වශයෙන් වෙන වෙනම පක්ෂ කාණ්ඩ ද්විත්වයක් හඳුන්වාදීම සඳහා ක්‍රමවේදයක් සැකසීම වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කරයි.

ජේ.ටී.ද සිල්වා