වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන්ගෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට  දඩ මුදලක් අයකර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම්
වෙයි.  මේ සඳහා නව නීති මේ දිනවල සකස් කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා ඊයේ (14) පැවැසීය.

රජයේ සෑම නිලධාරියකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියාට අනිවාර්යයෙන්ම බාරදිය යුතු හෙයින් එදින සිට ප්‍රමාදන සෑම දිනයක් වෙනුවෙන්ම ඒ නිලධාරියාගේ හෝ සේවකයාගේ මාසික වැටුපෙන් තිහෙන් එකක් අය කර ගැනීමට කටයුතු කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිම මාසයක් ප්‍රමාද
කළහොත් නිලධාරියාගේ හෝ සේකයාගේ මුළු මාසික වැටුපම දඩ මුදලක් වශයෙන් අය කර  ගන්නා බව ද ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේකයකු වත්කම් බැරකම් ප්‍රකාශ මාස දෙකක් ඉදිරිපත් නොකර සිටියහොත් මාස හයක වැටුප් දඩ මුදල් වශයෙන් අය කර ගන්නා බවත් වත්කම් බැරකම් ප්‍රකාශ මාස දෙකකට වැඩි කාලයක් නොදී සිටියහොත් නඩු පැවැරීමට කටයුතු කරන බවත් ඔහු කීය. මෙයට අමතරව අනාවරණය නොකරන වත්කම් තහනම් කිරීමට ද අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව ද ජයමාන්න මහතා සඳහන් කළේය.වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවකයා උනන්දු කරවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අල්ලස් කොමිසම පවසයි.

දඩ මුදල් අය කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ වෙනම අංශයක් ස්ථාපනය කිරීමට ද නියමිතය. මේ අතර රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන අවස්ථාවේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවට වූ නව නීතියක් හඳුන්වා දීමට ද කටයුතු කරන බවත් දැනට පවතින නීතිය අනුව අලි ඇතුන් විශේෂිත යන්ත්‍ර වැනි දෑ රාජ්‍ය සේවකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් කිරීම අවශ්‍ය නොවි ඇති හෙයින් ඒ දේවල් ද ඇතුළත් කිරීම අනිවාර්යය කරන බත් කොමියම පවසයි.

නව නීති සම්පාදනය කිරිමෙන් පසු රාජ්‍ය සේවකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුත්තේ 'ඔන්ලයින්” ක්‍රමයට පමණක් බව ද කොමිෂන් සභා නිලධාරීහු පවසති.  මේ අතර අල්ලස් වත්කම් බැරකම් හා කොමිෂන් සභා යන පනත් තුනම වෙන නම සංශෝධනය කර එක පනතක් යටතට ගැනීමට ද කොමිසම කටයුතු කරගෙන යයි. මෙම නව නීති පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරිමට නියමිතය.

-සුජිත් හේවාජුලිගේ-