https://www.gossiplankanews.com/2019/08/anamaduwa-unexpected-death.html
නමඩුව ප්‍රදේශයේ පියෙකු පවුල් ආරවුලක් හේතුවෙන් දරු දෙදෙනෙකුට වස පොවා මරා තමන්ද දිවි තොරගැනීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.කාලයක පටන් මෙම නිවෙසේ අඹු-සැමියන් අතර කිසියම් ආරවුලක් තිබී ඇති අතර මාසයක පමණ කාලයක සිට මියගිය සැමියාගේ බිරිය
නිවෙසේ පදිංචිය හැර ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇත.
උඩප්පුව, පල්ලිවාසල් පාඩුව, කොන්තන්තිව් ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඊයේ (25දා) වසදී තම පුතුන් දෙදෙනා
මරාදමා එම පුද්ගලයාද සිය නිවෙස තුළම ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබුණි. මෙම සිද්ධියෙන් මරණයට

පත්ව ඇත්තේ උඩප්පුව, කොන්තන්තිව් පල්ලිය වාසල පදිංචිව සිටි වර්ණකුලසූරිය අසංක සනත් නමැති 31 හැවිරිදි පියකු සහ ඔහුගේ දරුවන් වන 9 හැවිරිදි  විලියම් මැසෙව් සහ 6 හැවිරිදි  එසෝන් මිනිරොද් නමැති පාසල් දරුවන් දෙදෙනෙකි.

අසංක සනත් නිවෙසේ බාල්කයක එල්ලී සියදිවි හානි කරගන්නට පෙර දරුවන් හට වස පොවා ඇති බවට පොලිසිය විශ්වාස කරයි. එම ස්ථානයේ තිබී වස මිශ්‍ර බීම වර්ගද සොයාගෙන ඇත. සිද්ධිය පිළිබඳ ගැමියන් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කළත් ඒ වන විට ඔවුන් මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බිරිය සමඟ පැවති අමනාපයක් මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. දරුවන් දෙදෙනා කන්දතොඩුවා විදුහලේ පළමු සහ තෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටි අතර ඔවුන්ගේ මව පියා සමඟ අමනාප වී ඇගේ මවුපියන්ගේ නිවෙසට ගොස් සිටි අතරදී මෙම සිද්ධිය වී තිබේ.
සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසියෙක් මෙසේ පැවැසීය.
“ගෙදර පවුල් ආරවුල් තිබුණා. සිද්ධිය වුණ දවසේ ඒ අසලින් ගිය අයකුට නිවෙසේ කුමක් හෝ කලබලයක් සිදුවන බැව් දැනිලා තිබුණා.
ඒ වෙද්දී දවල් 12-1 අතර වගේ, නිකමට වගේ ගෙදරට එබිලා බලද්දී මේ අය මිය ගිහින් ඉන්නවා දැකලා ගමේ අයට දන්වලා රෝහල් ගත කළා. ඒත් ඒ වෙද්දී වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.”
යනුවෙන් පැවැසීය.
මරණ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට මහෙස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබිණි. හලාවත කොට්ඨාස පොලිස් අධිකාරි සුරම්ජාත් කුමාරපේලි මහතා සහ සහකාර පොලිස් අධිකාරි ආරියකීර්ති බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත උඩප්පුව පොලිස් ස්ථානාධිපති ගාමිණි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.  
ආණමඩුව - ඒකනායක