අප‍්‍රිකානු මහාද්වීපයේ, ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ‍්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයෙක් 23 වැනිදා අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

 මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර, අප‍්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.
මෙම කඳුවැටිය තරණය කළ ශ‍්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙකි. රංග දැනට ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරත් , සුදම් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති. මෙම කඳු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම 23 වැනිදා අලූ‍යම 1.10 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඞ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් ඇතුළු ඥාතී - හිතවත්හු පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


 මෙහිදී සිය අත්දැකීම් විස්තර කළ රංග මෙසේ කීවේය.

'අපි මේ කන්ද නගින්න අගෝස්තු 16 දා පටන් ගත්තා. මේ කන්ද අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උසයි. මේ කන්ද දැනට අක‍්‍රිය ගිනි කන්දක්. ඒත් මීට වසර 200කට විතර පෙර යම් විධාරණය වීමක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. මෙම කිලිමැන්ජාරෝ කඳු වැටිය වර්ග කිලෝ මීටර් 756 පුරා පැතිරුණ , යුනෙස්කෝ සංවිධානය විසින් ද ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරලා තියෙන තැනක්. මේ කන්දේ කිබෝ, මාවෙන්සි සහ ෂිරා කියලා ප‍්‍රධාන කඳු මුදුන් තුනක් තියෙනවා. එයින් උසම තැන කිබෝ කඳු මුදුනේ තියෙන උහුරු නමැති ස්ථානයයි. විශාල ජෛව විවිධත්වයකින් යුතු, ප‍්‍රධාන දේශගුණික කලාප පහකින් සමන්විත මේ කඳු වැටියේ උසම තැනට දින පහක් තිස්සේ නැගලා අගෝස්තු 20 දා අපි උහුරු වෙත ළ`ගා වුණා .එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි. හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අපිට ඇති තරම් එතැන නැහැ. ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීපදෙනෙක් ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා. පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතරදෙනෙක් , කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා. අපිට හුගාක් ලොකු සහයක් එරට මග පෙන්වන්නන් ලබා දුන්නා.'

 කටුනායක ටී.කේ.ජී.කපිල