අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රජයට වසර හතරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු වර්ජනය කර
තිබුණි.
ඊට හේතුවූයේ ඔවුන් එම අවස්ථාවේ මාතර පැවති රැළියට එක්වීමයි.
මංගල සමරවීර, හරින් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ සහ දිලිප් වෙදආරච්චි මෙම භෝජන සංග්‍රහයට සහභාගි වීමෙන් වැළකී සිටියහ.
‘සජිත් එනවා’ මාතර රැලිය පැවැත්වූ පසුගිය සිකුරාදා (23 වැනිදා) රාත්‍රී මෙම භෝජන සංග්‍රහය පැවැති අතර, එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුලේ ඥාතීන්ටද සහභාගි වීමට අවස්ථාව හිමි වී තිබුණි. මාතර රැලියට සහභාගි වූ මන්ත්‍රීවරු රැසක්ද මෙම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටි අතර, දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
භෝජන සංග්‍රහයේදී අගමැතිවරයා විසින් ජනාධිපතිවරණය සහ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.