https://www.gossiplankanews.com/2019/08/20-kaveesha-story-update.html#more
සුගියදා මැල්සිරිපුර හෝටල් කාමරයකදී අභිරහස් ලෙස පාසල් සිසුවියක ඝාතනයට ලක්වූ සිද්ධිය  සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.
මෙම ඝාතනය සිදු කළ අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි තරුණයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව
තමා සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ තරුණිය තමාට මුදල් නැතිය කියා පිටුපා මගහැර ගොස් තිබූ නිසා නැවත ඇයව ළං කරගැනීමට මේ සියල්ල සිදු කළ බව කියා තිබේ.

22 හැවිරිදි තරුණයා කුරුණෑගල ඉහළගම පෙරියකඩුනැලව පදිංචිකරුවෙකි. කලක් කුරුණෑගල වැලගනේ ප්‍රදේශයේ විහාරස්ථානයක මාස තුනක තාවකාලික පැවිද්ද ලබා සිටි ඔහු අනතුරුව පැවිදි දිවිය අතහැර එම පන්සලෙහිම ආවතේවකරු ලෙස කටයුතු කරමින් සිටිමින් ඇඟලුම් කම්හලක රැකියාවකට ගොස් තිබේ. එහිදී හමුවූ මැල්සිරිපුර කරදගොල්ල ප්‍රදේශයේ ඉමාෂා නමැති තරුණියක සමඟ පෙම් සබඳතාවක පැටලී ඇති අතර

ඇය සිද්ධියෙන් මියගිය කවීෂාගේ මිතුරියක වී ඇත්තේ උපකාරක පන්තියේදී  හමුවීමෙනි.

පෙම් සබඳතාව පැවැත්වූ ඇඟලුම් කම්හලේ තරුණිය ඝාතන සැකකාර කසුන් පන්සලේ ආවතේවකරුවෙකු බව දැනගත්දා සිට ඔහු ගැන උනන්දුව අඩුවූ බව පැවසේ. ඔයාට ජීවත්වෙන්නවත් සල්ලි නැතිව අපිට අනාගතයක් හදාගන්න විදිහක් නෑ කියා ඇය ඔහුට පිටුපා තිබේ.

පෙම් සබඳතාව අතහැර දැමීම නිසා දැඩි සිත් තැවුලට පත් ඔහු  පන්සලෙහි විහාරාධිපති හිමි නමට අයත් වෑන් රථයක් හා රුපියල් ලක්ෂයකට වැඩි මුදල සොරා ගැනීමට කටයුතු කර ඇත්තේ ඉකුත් 27 වැනිදාය. එම මුදල් වාහන පෙන්වා යළි පෙම්වතිය සමග සාමදාන වියහැකි යයි ඔහු කල්පණා කර ඇති අතර පෙම් සුව විඳීමට හෝටල් කාමරයක්ද කල් ඇතිව මැල්සිරිපුර නගරයේ වෙන්කරවාගෙන ඇත්තේ ඇය සමග දින කිහිපයක් ලැගුම් ගන්නා අටියෙනි.

එසේ පැහැරගත් මුදල් සහ වාහනය රැගෙන තම පෙම්වතිය හමුවී මේක මගේ වාහනේ මෙන්න මගේ සල්ලි කියමින් ඇය රවටන්නට උත්සාහ කර රවුමක් යමු කියා ඇයව වාහනයට නංවාගෙන ඇත. නමුත් පෙම්වතාව සිටි කසුන්ගේ අමුත්තක් ඇය දැක ඇති අතර වාහනයේ සල්ලි හා පිහියක් තිබෙනු දැක බියවී තමාව වාහනයෙන් බස්සවන ලෙස ඇය ඉල්ලා තිබුණි. නමුත් ඔහු ඇගේ කීමට අවනතවී නැත. එම අවස්ථාවේ මුදල් මිටියක් පාරට විසිකර එය අහුලන්නට පෙම්වතා වාහනය නැවැත්වූ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගෙන පෙම්වතිය ඉමාෂා වාහනයෙන් පැන පළා ගියාය. පසුව සිද්ධිය ගැන ඇය මහව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

වාහනයෙන් පළාගිය පෙම්වතිය පසුපස ඔහුට එම අවස්ථාවේ ලුහුබඳින්නට බැරිව ගියේ පෙම්වතිය පිරිසක් අතරට උදව් ඉල්ලා ගිය බැවින් පෙම්වතාට ඇතිවූ බය නිසාය. තෙසේ වෙතත් පෙම්වතියගේ ජංගම දුරකථනය අමතකවී ගිය බැවින් එයින් ප්‍රයෝජනයක් ගෙන එහි තිබූ අංකවලට ඇමතුම් ලබාදෙන්නට කසුන් කටයුතු කළේය. එහි කවීෂා නමින් නම් කර තිබූ අංකයට කථා කර

“කවීෂා ඔයාගේ යාළුවා කරදරයකට මැදි වෙලා. මැල්සිරිපුර හෝටලයක හිර වෙලා ඉන්නවා. අනේ
යාළුවෙක් විදියට ඇවිල්ලා මට උදවු කරන්න” ඔහු ඉල්ලා සිටි අතර තම මිතුරිය ගැන ආරංචිය විශ්වාස කළ කවීෂා එම අවස්ථාවේ තමා සිටින්නේ අමතර පන්තියක බැවින් පසුදා පැමිණිය හැකි බව දන්වා ඇත.
ඒ අනුව කවීෂා කසුන් කියූ තැනට පසුදින ගොස් තිබේ.

සිය හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇතැයි ලැබුණු ආරංචියක් මත ඇයට උපකාර කිරීමට ගිය විසි
හැවිරිදි තරුණියකට හෝටල් කාමරයක් තුළදී හිතක් පපුවක් නොමැති පාපතරයකුගේ අතින් කෙළෙසීමට හා සිය ජීවිතය අහිමි කර ගැනීමට සිදුවීමේ මෙම ශෝචනීය පුවත වාර්තා වූයේ ඉකුත් 30දාය.
සැකකාර කසුන් ඇයව හෝටල් කාමරයකට රැගෙන

ගොසින් සිහි නැති වෙන්න යමක් දී මේ අපරාධය සිදු කර ඇති බවට මේ වනවිට පරීක්ෂණ වලින් තහවුරුවී තිබේ.

කවීෂා හෝටලේ කාමරයේ සිට කෑ ගහන ශබ්ද හෝටලේ වැඩ කරන කෙනෙක්ට ඇසී විපරම් කරන්නට පැමිණ බවත්
එම අවස්ථාවේ සැකකරු කසුන් ”මේක අපේ ප්‍රශ්නයක් ඒ නිසා කලබල වෙන්නෙ එපා” යයි කියා ඔහු පිටත් කර ඇති බවත් වාර්තා ළුී තිබේ.
කුරුණෑගල - මැල්සිරිපුර නගරයේ හෝටල් කාමරයක් තුළ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් ඇති බවට ගොකරැල්ල පොලිසියට අදාළ හෝටලයේ සේවකයන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂාවකදී පොලිසිය විසින් එම මළ සිරුර සොයා ගැනිණි.

හෝටලයට ලබාදී තිබූ දත්ත අනුව සිද්ධියට සම්බන්ධ කුරුණෑගල ඉහළගම පෙරියකඩුනැලව පදිංචි අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි සැකකරු 30දා රාත්‍රියේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වනවිට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් මේ මස 8දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි ඩබ්.පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ නමැති 20 හැවිරිදි තරුණියකි. ඇය මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීම සඳහා සූදානමින් සිටි බව කියයි.

කුරුණෑගල නගරයේ උපකාරක පන්තියකට සහභාගි වීමට යැයි කියමින් ඉකුත් 29දා නිවෙසින් පිටත් වූ කවීෂා
එදින නිවෙසට නොපැමිණීම පිළිබඳව ඇයගේ මවුපියන් අලව්ව පොලිසියට පැමිණිල්ලක කර තිබූ අතර ඒ පිළිබඳව අලව්ව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටින අතරතුර මෙසේ ඇයගේ මළසිරුර හමුව තිබෙන්නේ තරුණිය නිවෙසින් අතුරුදන්ව දිනකට පසුවයි.

ඇය මේ ගමන යන බව නිවසට දන්වා නැති අතර මිතුරියකට එස්එම්එස් පණිවිඩයක් පමණක් ලබාදී ඇත.
සිද්ධියෙන් මියගිය කවීෂාගේ මෘතදේහය පෙරේදා රාත්‍රියේ කවීෂා පදිංචි අලව්ව නවතල්වත්ත නිවෙසට රැගෙන විත් තිබුණේ ප්‍රදේශයේ ලොකු කුඩා සැවොම දුක් සයුරක ගිල්වමිනි.
 සිය යෙහෙළියට උදවු කිරීමට ගිය කවීෂාට අවසානයේදී සිය දිවිය අවසන් කරන්නට සිදු වූයේ පාපතරයකු අතින් ජීවිතක්‍ෂයට පත්වීමෙනි.
------------------
සිද්ධිය සම්බන්ධ  පෙර ලිපිය
පෙම්වතිය බෑ කිවු නිසා යෙහෙළිය රවටා ගෙන්වාගෙන හෝටල් කාමරය තුළ දූෂණය කර ඝාතනය කළ සිවුරු හැරිය තරුණයා අත්අඩංගුවට