https://www.gossiplankanews.com/2019/07/thilan-with-new-zealnd-team.html
ගෝස්තු මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වසර 7කට පමණ පසු ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක්වන නවසීලන්ත පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 15කට ක්‍රීඩා කරමින් ඉන් තරග 6ක් පරාජයට පත්ව තිබීම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු

පිතිකරණ පුහුණුකරුවා සතු දැනුම මෙම සංචාරයේදි නවසීලන්ත කණ්ඩායමට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව එම නිවේදනයේ දක්වා තිබිණි.

තවද කේන් විලියම්සන් සහ රොස් ටේලර් හැරුණු විට මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ තණතීරුවල තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මෙම පත්කිරීම සඳහා ප්‍රධාන හේතුවක් වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. මේ අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත්තේ මෙවැන්නකි.

 “මෙම ටෙස්ට් තරගාවලියේදි අපගේ කණ්ඩායමට එක්වන ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවකු සහ විශිෂ්ට ගණයේ ටෙස්ට්  පිතිකරුවකු වන තිලාන් සමරවීරගේ ශ්‍රී ලංකා තණතීරු සම්බන්ධයෙන් පවතින මිල කළ නොහැකි දැනුම් සම්භාරය. මෙම තරගාවලියේදී අපට වඩාත් ප්‍රයෝජනවත් වේවි. එමෙන්ම මෑතකදී වැඩ භාරගත් අපගේ පිතිකරණ පුහුණුකරු  පිටර් ෆුල්ටන්ට  මෙම තරගාවලියේදි සමරවීරගෙන් විශාල සහායක් හිමි වන බව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදිත් අමතර පිතිකරණ පුහුණුකරුවකු සිටීමේ වාසිය අපට ලැබීම නිසා ශ්‍රී ලංකාව  සමඟ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදිත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට අප පියවර ගත්තා." යනුවෙනි.