ගලේවෙල, පට්ටිවෙල ප්‍රදේශයේ නිවෙසක පිටුපස පිහිටි ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය පුද්ගලයකු ළිඳට බැස්ස අවස්ථාවේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ළිඳ තුළම මියගොස් සිටියදි දැඩි පරිශ්‍රමයක් යොදා
ඊයේ (30දා) සිරුර ගොඩගත් බව ගලේවෙල පොලිසිය කියයි.ගලේවෙල, පිට්ටිවෙල ප්‍රදේශයේ පෞද්ගලික ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට භාරදී තිබෙන බවත් පසුව පුද්ගලයන් තුන්දෙනකු පැමිණ අඩි හතළිහක් පමණ ගැඹුරු ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සුදානම් කොට ජලය ඉවත් කිරීමෙන් පසු
එක් පුද්ගලයකු ලණුවක ආධාරයෙන් ළිඳට බැස ඇති බවද ගලේවෙල පොලිසිය කියයි.

පසුව ඔහු හුස්ම ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයෙන් සිටින බව ගොඩ සිටි අයට දැනුම් දී තිබුණු බවත් ඔහු ගොඩගැනීම සඳහා උත්සාහ කළ නමුත් ඔහු ගොඩගැනීමට නොහැකිවීම නිසා නිවැසියන් පොලිසියට සහ අවට අයට දැනුම් දී තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල, රංවැඩියාව ප්‍රදේශයේ කුලී වැඩ හා පොල් කඩන කම්කරුවකු බවද පොලිසිය කියයි.

අවස්ථා කීපයකදී පුද්ගලයා ගොඩ ගැනීමට උත්සාහ කොට නොහැකි වූ තැන ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලංග ප්‍රනාන්දු මහතාට දැනුම්දුන් බවත් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේද සහාය ඇතිව එම ස්ථානයට පැමිණ විදුලි පංකාවක් තුළින් ළිඳ පතුලට බටයක් දිගේ වාතය ලැබෙන්නට සලස්ව ප්‍රදේශවාසීන්ගේද ආධාර හා ගිනි නිවන ඒකකයේ නිලධාරින්ගේද සහාය ඇතිව ළිඳ තුළට පුද්ගලයකු බස්සවා වැටී සිටි  පුද්ගලයා ලණුවක ආධාරයෙන් ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදි ගලේවෙල රෝහලට රැගෙන යෑමට පියවර ගනු ලැබීය.

ගලේවෙල රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ ළිඳ පතුලෙන් ගොඩගත් පුද්ගලයා ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි. ළිඳ ඉසීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදුන් නිවැසි කාන්තාව කියා සිටියේ තමන් සුපුරුදු පරිදි ළිඳ ශුද්ධ පවිත්‍ර කරන පුද්ගලයකුට කුලී පදනම මත ළිඳ ශුද්ධ කිරීමට කි බවයි.
සිය මෑණියන් තමන්ට දුරකථනයෙන් මේ බව දැනුම් දීමත් සමහ පොලිසියට ගිලන්රථ සේවයට හා අවට පිරිසට දැනුම්දි වහාම එම ස්ථානයට පැමිණි බව ඇය සඳහන් කළාය.

එම නිවෙසේ සිටි බව කියා සිටියේ ළිදේ වතුර ඉවත් කිරිමෙන් පසු කොළ රොඩු ඉවත් කිරීම සඳහා ළිඳට බැසගත් කම්කරුවා ගොඩඒමට නොහැකි බව දැනුම්දීමත් සමඟ ඔහු සමඟ පැමිණි දෙදෙනාද දැඩි උත්සාහයක් දරා ඇති බවත් තවත් අයකු ළිඳට බැස ඇති අතර මඟට යද්දී ඔහුටද හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීමත් සමග ඔහු ගොඩ ආ බවත් පසුව අසල්වාසීන්ගේ සහ පොලිසියේ සහාය ඇතිව මෙම පුද්ගලයා ගොඩට ගත් බව ඇය පැවැසුවාය. ගලේවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්විණි.

-කේ.කේ.ආරියදාස-