අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි අයිවරි කෝස්ට් රාජ්‍යයේ දරුවන් සඳහා පාසල් ඉදිකිරීම වෙනුවෙන් අඩු වියදම්, පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට යුනිසෙෆ් අරමුදල සහ කොලෝම්බියානු සමාජ සංවිධානයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී ඔවුන් අදාළ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිපදවා ගැනීම ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි මෙම ප්ලාස්ටික් ගඩොල් අනෙකුත් සමාන ගඩොල් හා සැසඳීමේදී මිල අතින්ද අඩු අගයක් ගැනීම එම ඉදිකිරීම් කටයුතු වඩාත් සරල කර තිබේ.

වාර්තාවලට අනුව දැනටමත් අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක්  නොමැති එරට වෙසෙන දරුවන්
වෙනුවෙන් පන්ති කාමර 15,000ක් ඉදිකිරීම අනිවාර්ය වී ඇත.

ඒ අනුව, පන්ති කාමර අවශ්‍ය එරට දරුවන්ගේ, එම අවශ්‍යතාව සැපිරීම සඳහා මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා සකසන ගඩොල් වඩාත් ඵලදායී බව අදහස වී තිබේ.

"මේ ක්‍රමවේදය මගින් අපිට තෙවැදෑරුම් ප්‍රතිඵල අත්වෙනවා. ඉන් එකක් තමයි, අයිවරි කෝස්ට් හි දරුවන්ට වැඩිවශයෙන් පන්ති කාමර හිමිවීම. අනෙක පරිසරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමයෙන් අඩුවීම. ඒ වගේම තමයි, බොහෝ පවුල් වලට අමතර ආදායමක් හිමි කරගැනීමට හැකිවීම” යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝරේ පවසයි.

කොන්සෙප්ටොස් ප්ලාස්ටිකොස් නම් සමාගමක් මම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි. එරට අබිඩ්ජාන් අගනුවර අවට ප‍්‍රදේශවලදී එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ සඳහා එකතු කෙරේ.

 වාර්තාවලට අනුව සෑම දිනකදීම එරට අගනුවරදී පමණක් ප්ලාස්ටීක් අපද්‍රව්‍ය ටොන් 280කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙයි. ඒ අතරින් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ 5%කට වඩා අඩු ප්‍රමාණයකි. ඒ අනුව, මෙහිදී ප්ලාස්ටික් සහ රබර් අපද්‍රව්‍ය එකට මිශ්‍ර කරමින් සකසා කරගන්නා අමුද්‍රව්‍ය යොදා ගෙන මෙම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි.

ඉදිරි වසර දෙක ඇතුළතදී දරුවන්ට පත්ති කාමර 500ක් ඉදිකිරීම ඔවුන්ගේ අදහසයි.

 -හසිත විතානගේ-