https://www.gossiplankanews.com/2019/07/pujith-hemasiri-in-sick.html#more
 7pm update
අත්අඩංගුවට ගැනීමට යන බව සැලවීමෙන් පසු රෝහල් ගතවූ පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද රහස් පොලිසියට වාර්තා නොකළ නමුත් ඔවුන් සම්බන්ධ කාරණාව උසාවියේදී විභාග කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හා 1 දිනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (2) සවස නියම විය. කෙසේ වෙතත් පැය 24 ක රක්ෂිත බන්ධනාගාර ගතවීම ඔවුන්ට රෝහල් සයනයේදී ගෙවා දැමීමට පහසුකම් සැලසී තිබේ.
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා
හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් බවත්,

හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
--------
 2pm update
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ආරංචි පැතිරී ඔවුන් දෙදෙනාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ වාතාවරණයක එක්වරම දෙදෙනා
අසනීපවූ බව දක්වමින්
රෝහල් ගතවීමේ හාස්‍යජනක පුවතක් අද (2) වාර්තා විය.
අද ජාතික පුවත්පත්වල සිරස්තල ලෙස සටහන්ව තිබුනේ පාස්කු ප්‍රහාරය වළක්වාගන්නට ක්‍රියා නොකළ බවට කරුණු  සනාථවීම නිසා නීතිපතිවරයා පූජිත් හා හේමසිරි දෙදෙනාව අත්අඩංගුවට ගන්නට මීට දින 5 කට පෙර නියම කර තිබූ බවයි.
එම නියමය මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැන නීතිපතිවරයා නැවත කරුනු විමසා ඇති බවද එම වාර්තාවල දැක්විණි. මෙම පසුබිම යටතේ අද දින ප්‍රකාශ ලබාදීම සඳහා පූජිත් හා හේමසිරි දෙදෙනාට සීඅයිඩියේ පෙනී සිටින්නට නියමිතවූ අතර ඔවුන් නිසැකවම එම ප්‍රකාශ වලින් පසු අත්අඩංගුවට ගන්නට නියමිත බවට ආරංචි පැතිර තිබුණි.


අද පෙරවරුවේ තමාට හදිසි අසනීප තත්ත්වයක් හටගත් බව දක්වමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ වන විටත් හෘද රෝග ඒකකයේ සයනයක දිගාවී ඔහු ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්වරම අද නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත්ව ඇත්තේ තමන්ට අසනීප බව කියමිනි.

 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි, නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබූ අතර ඒ වනවිටත් ඉතා හොඳ නිරෝගී තත්වයෙන් පසුවූ මෙම දෙදෙනාම එක්වරම රෝගීන් බවට පත්වී ඇත.

රහස් පොලිසියට පෙරවරු 9.30 වන විට පැමිණීමට නියමිත ව තිබියදී ආරංචි වූයේ දෙන්නාම ලෙඩවූ නිසා එන්නට බැරි බවයි.
නීතිය ක්‍රියාත්මක වන වේලාවේ නීතියෙන් මගහැරීම ලංකාවේ දැන් සාමාන්‍ය සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන අතර මීට ඉහත මේ ආකාරයටම දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ද හැසිරී තිබුණි.