https://www.gossiplankanews.com/2019/07/copper-insahf-party.html#more
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය   තුළදී මරාගෙන මැරුණු ඉන්සාෆ් අහමඩ් නම් කෝටිපති ව්‍යාපාරිකයාට හිමි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයකු වන කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති මෙම සිද්ධියට අදාළ නඩුවේ දසවැනි සැකකරු
තවදුරටත් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (08දා) නියෝග කළාය. එමෙන්ම ලබන 15 වැනි දින මෙම නඩුව නැවත කැඳවීමටත් එදින මෙම නඩුව පිළිබඳව වැඩිදුර වාර්තා  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට නියෝග කළාය.

කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති සැකකරු මෙම තඹ  කර්මාන්තශාලාවේ සාමාන්‍ය සේවකයකු නමුත් මෙම කර්මාන්ත ශාලාවේ අයිතිකරු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් යන බෝම්බකරු විසින් මොහුට ණය

වශයෙන් වරින් වර මුදල් ලබාදී ඇති බවත් මොහුගේ විවාහයෙන් පසුව ඥාතීන්ට මෙම කර්මාන්තශාලාවේ  අයිතිකරු විසින් සාදයක් පවත්වා ඇති බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා සිටියේය.

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු කරන ලද විමර්ශනවලදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගෙන සියදිවි නසාගත් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නම් කෝටිපති ව්‍යාපාරිකයාට හිමි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව සෝදිසි කිරීමෙන්  අනතුරුව වැල්ලම්පිටිය පොලිසිය මඟින් සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පළමු සැකකරුවන් නව දෙනාට ඇප ලබාදුන් මහෙස්ත්‍රාත්වරයා කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති දසවැනි සැකකරු වැල්ලම්පිටිය පොලිසිය මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණය හමුවට පත් කර තිබූ හෙයින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.  පසුව මෙම නඩුව අපරාධ පක්‍ෂණ දෙපාර්තමේන්තූව යටතට ගැනුණු අතර මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරමින් පවතී.

-හංසි නානායක්කාර-