https://www.gossiplankanews.com/2019/06/negombo-click-bank.html#more
මීගමුව ඒත්තුකාල සිල්වෙස්ටර් පාර ලිපිනයේ ලැගුම්හලක් තුළ චීන ජාතිකයෙකු හා  ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු පවත්වාගෙන ගිය අමුතු ආකාරයේ ගැජට් මධ්‍යස්ථානය ඊයේ පොලිසිය වටළා තිබුනි. එම ස්ථානයේ රාක්ක තුළ පණගන්වා අසුරා තිබූ අයි 6 වර්ගයේ අයිෆෝන් 402 ක් හා 17400 ක් වූ සිම් කාඩ් හා රවුටර් 60 යොදාගෙන කුමක් කළේද යන්න මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහක්ද පැනනැගී ඇත.
ඇතැම් අය දක්වා තිබෙන අදහස නම් මෙහිදී සිදු කරන්නට ඇත්තේ 'ක්ලික් බෑන්ක්' නමින් හඳුන්වන
කටයුත්තක් බවයි. අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට ව්‍යාජ නැරඹුම් ලයික්ස් තොග වශයෙන් සපයනු ලබන මෙම ක්‍රමයේදී කිසිවෙකුගේ ඇණවුම මත මුදලට ක්ලික් කිරීම් හෝ ලයික් දැමීම් සිදු කරදෙනු ලබයි. අන්තර්ජාල සබඳතා රැසක් එකම ස්ථානයක පණගන්වා සිම් කාඩ් වලින් ඒවායේ අංක වරින්වර

වෙනස් කරමින් මෙවැනි කටයුත්තක් හසුනොවන ආකාරයට කළ හැකි බවත් ඇතැමුන් අදහස් දක්වා තිබේ.
කෙසේ වෙතත් මේ ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ වෙනත් කතාවකි. මෙය ත්‍රස්තවාදීන්ට දුරකථන ඇමතුම් රහසිගතව ලබාදීම සඳහා පවත්වාගෙන ගිය ස්තානයක් බව පොලිසියේ අදහසයි.
චීන ජාතිකයා විසින් පවත්වාගෙන යන මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව භට කණ්ඩායමක් ඊයේ (7) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි.

නීති විරෝධී සංනිවේදන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේදී මෙම චීන ජාතිකයා රුපියල් කෝටි 2ක් පැය දෙකක් ඇතුළත ලබාදිය හැකි බවත් වැටලීම නතර කර ඉවත්ව යන ලෙසටත් වැටලීම් කණ්ඩායමට පවසා ඇති බවද අල්ලස් මුදල ලබා ගැනීම ප්‍රතිෂ්ප කළ නිලධාරීන් මෙම ස්ථානය වටලා ඉහත භාණ්ඩ සමග චීන ජාතිකයා හා ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.
පසුගිය කාලය පුරා අන්තවාදී කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන්ට හා චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන්ට මෙම

ස්ථානයෙන් නීති විරෝධී ලෙස ජාත්‍යන්තර ඇමතුම් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි විශේෂකාර්ය බළකායේ උසස් නිලධාරියෙක් දන්වා ඇත.
විදුලි සංදේශ නියාමන

කොමිසම් සභාවේ අනුමැතියෙන් තොරව මෙම ස්ථානය මාස 6ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මෙහි චීන ජාතිකයන් පස් දෙනකු කලින් සේවය කර ඇති බවත් හෙළි කර තිබේ.
ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයට අසු නොවී මෙහි සිට විදේශයන්ට ඇමතුම් ලබා ගැනීමට හැකියාව තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය දන්වා ඇත. අන්තවාදී කල්ලිවලට සම්බන්ධ බවට පැවසෙන සාමාජිකයන්ද ජාත්‍යන්තර දුරකථන ඇමතුම් පහසුකම් තිබෙන මෙම මධ්‍යස්ථාන දෙකට පැමිණ පසුගිය කාලයේ විදේශයන්ට ඇමතුම් ලබාගෙන ඇති බවද පැවැසේ.

මාසයකට ලක්ෂ 03 බැහිවූ මුදලකට මෙම නිවාස දෙක කුලී පදනම මත ලබාගෙන මාස හයක පමණ කාලයක් තිස්සේ මෙම හොර දුරකතන මාධ්‍යස්ථාන දෙක පවත්වාගෙන ගොස් ඇතැයි විශේෂ කාර්ය බලකාය කියයි.
අප්‍රේල් 21 දින බෝම්බ පිපිරීම් මාලාවෙන් පසුව ඔවුන් මෙම උපාංග සියල්ල වළදමා තැන් තැන්වල සැගවී සිට ඇති බවද වාර්තා කර ඇත.

චීන ජාතිකයා ඊට සති කිහිපයකට පසුව නැවතත් මෙහි පැමිණ වළ දමා තිබූ එම උපාංග නැවත ගොඩගෙන මෙම නීතිවිරෝධී සන්නිවේදන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇති බවද චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයෙකු බවද අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා කල්පිටිය සහ මීගමුවේ පදිංචිකරුවන් බවද කියති.

මේ තොරතුරුවල සත්‍ය අසත්‍යථාව අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කළ දැනුම්දීමකින් පසුව විදුලි සංදේශ නියාමන කොමිසමේ විශේෂඥයන් කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට ඊයේ එහි ගොස් තිබිණි.