https://www.gossiplankanews.com/2019/06/namal-limini-love-story.html
දිගු කලක් රහසක්ව පැවැති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාෙග්  විවාහ මංගල උත්සවය ලබන සැප්තැම්බර් 17 සිදුවන බවට දැන් ප්‍රසිද්ධවී අවසන්ය. මේ රහස ගිලිහුනේ ඉන්දීය අගමැති මෝදි ලංකාවේ සංචාරය අතර විමසූ පැනයක් නිසා බවද අපි මින් ඉහත වාර්තා කළෙමු.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ අත ගන්නා මනාලිය කවුරුන් දැයි දැන් කුතුහලයක් පැනනැගී ඇත.
ඇගේ නම ලිමිනිය.මනාලියගේ ආදරණීය පියාණන් වූ ව්‍යාපාරික තිලක් වීරසිංහ හා මනාලියගේ මව
සම්මුඛ සාකච්ඡාවක් ලබාදී මේ ගැන හෙළි කර තිබේ.
තිලක් වීරසිංහ මහතා මෙසේ කියයි.
'අපි මහින්ද මහත්තයාගේ පවුලේ අයව දන්නේ ඇසුරු කරන්නේ අවුරුදු 15කට කිට්ටු කාලයක ඉඳලා. ඒ දැනහැඳුනුම්කම ඇති වුණේ ජල ක්‍රීඩා කටයුතු නිසා.
පුංචි කාලේ ඉඳලම නාමල්, යෝෂිත කියන මේ දරුවෝ අපේ ආයතනයේ ජල ක්‍රීඩාවලට එනවා. ඒ ඇවිත් කාලයත් එක්ක ඇතිවුණු සුහදතාව තමයි මේ විදියේ සම්බන්ධකමක් දක්වා වර්ධනය වුණේ.'

තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක ක්‍ෂේත්‍රය තුළ පෙරමුණේ වැජඹෙන ව්‍යාපාරිකයෙකි. එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළින් අපේ රටට වැඩිම ආදායමක් උපයා දෙන දේශාභිමානී ශ්‍රී ලාංකිකයෙකි.

එල්.එස්.ආර්. නමින් පවත්වාගෙන යන මෙම සුප්‍රසිද්ධ ආයතනයට මරිනා සුපිරි හෝටල් සමූහය හා කිමිඳුම් පාසල් මෙන්ම කිමිඳුම් ආයතන සියල්ල ඇතුළත්ය.


“මේ හැමදේකටම වඩා අපි දේශීයත්වයට ආදරය කරනවා. අපේ ආයතන කිසිවක් පිටරටට අයිති නැහැ. ඒවා අයිති අපිටමයි. නමුත් අපේ ආයතනවල විදෙස් ජාතිකයෝ රැසක් වැඩ කරනවා. ඒ වගේම අපිට අයිති තවත් ආයතන කීපයක් ජර්මනියේ, ප්‍රංශයේ, ජපානයේ, චීනයේ වගේම ඉන්දියාවේ තිබෙනවා.”

තිලක් වීරසිංහ මහතා මේ දේවල් ඉස්මතු කොට පවසන්නේ පුරාජේරුවට නොවේ. ඔහු මේ හෙළිදරව්ව කරන්නේ දේශීය ව්‍යාපාරිකයෙක් ලෙස වසර 30ක් තුළදී දේශපාලන වාසි නොගෙන ධෛර්යවන්තව තම ව්‍යාපාරය දියුණු කරගත් අභිමානය නිහතමානීව විස්තර කරමිනි.

“ ඒ විතරක් නෙවෙයි. මමත් මගේ බිරියත් දෙන්නම ක්‍රීඩාවට ආදරෙයි. මේ පසුබිම තුළ තමයි අපිට නාමල් – යෝෂිත පුතාලා දෙන්නත් හඳුනගන්න ලැබෙන්නේ.

ඒ වගේම මගේ දුව ලිමිනිත් මේ අය සමඟ හිතවත් වෙන්නේ. මොකද අපේ දුවත් පුංචි කාලේ ඉඳලම මේ දේවල්වලට උනන්දුයි.

අපි පුල පුලා බලා සිටි මේ විවාහයේ හොඳම තැනට අපේ සුහද කතාබහ තල්ලු වන්නේ දැන්ය. ඒ නාමල් – ලිමිනිගේ දැනහැඳුනුම්කම හා විවාහය දක්වා ඒ සම්බන්ධකම ගොඩනැඟුණේ කෙසේ දැයි යන්න ගැනය.

‘මම මුලදී කිව්වනේ මේ දෙන්නා ක්‍රීඩාව හින්දා මුලදී හිතවත් වුණා කියලා. ඇත්තටම ඔය හිතවත්කම හුඟක් කල් තිබුණා. ඒත් මීට අවුරුදු දෙක තුනකට කලින් මේ ළමයි දෙන්නා ඇවිත් මේ සම්බන්ධව අපි එක්ක කතා කළා. ආදර සබඳතාවක් තිබෙන බව අපට කිව්වා.

‘ඇත්තටම ඒ වෙලාවේ අපි කිව්වේ දෙපාර්ශ්වයම දැනුවත් කරලා ඔවුන්ගේ ආශීර්වාදය අරගෙන මේ සම්බන්ධකම පවත්වාගෙන යන්න කියලයි.

නාමල් – ලිමිනි මේ අවවාදය ඉහළින්ම පිළිගත්හ. ඒ අනුව මවුපියන්ගේ කැමැත්ත ලබා ගැනීමේ සුහද හමුවක්ද සූදානම් කළහ.

“ඊට පස්සේ මහින්ද රාජපක්‍ෂ මහතා වගේම ශිරන්ති රාජපක්‍ෂ මැතිනියත් අපිත් මේ දෙන්නගේ අනාගතය ගැන කතා කළා. ඔවුන්ගේ කැමැත්තට අනුව එකතු වෙන්න ඉඩ දුන්නා.”

“ඇත්තටම මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරගත්ත මහින්ද රාජපක්‍ෂ මහත්තය ගැන මා තුළ තිබෙන්නේ පුදුමාකාර ගෞරවයක්. එතුමා මගේ ඥාති වුණත් ඒ ගෞරවය මා තුළින් ගිලිහී යන එකක් නැහැ. අපි අද නිදහස්ව ජීවත්වෙන්නේ එතුමා නිසයි. ඉතින් එතුමා වගේ නායකයෙක් මගේ ඥාති වෙන එක කොයි තරම් සතුටක්ද?”

තිලක් වීරසිංහ මහතා මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ ඒ විධියටය.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා ගැනද මම මේ කතාබහේදී අහන්නට සිතුවේත් එවන් කෙනකු වීරසිංහ පවුලට එකතුවීමේ සතුට ගැන දැනගන්න තිබූ ඕනෑකම නිසාය.

“මම නාමල් පුතාව හුඟක් කල් ඉඳලා දන්නවා. ඔහුගේ හැසිරීම තුළ කිසිදු වරදක් මම දැක නැහැ. ඔහු ගැන නොදන්න අය කියන කතා මම එතරම් හිතන්නේ නැහැ. “ඒවා දේශපාලන ලෝකය තුළ ඇහෙන කතානේ.

“නමුත් මම දන්න නාමල් කාලෙක ඉඳලම එළවළු බත් කන, වයින් උගුරක්වත් බොන්නේ නැති බොහොම සුහද කෙනෙක්. ඒ වගේම ක්‍රීඩාවට හුඟක් ළැදි කෙනෙක්.”

තිලක් වීරසිංහ මහතා පවසන ආකාරයට ඔහුගේ ආදරණීය දියණිය ලිමිනිත් වෙනස්ම විදිහේ ගති පැවතුම් ඇති දයාබර දියණියකි. ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කළ තැනැත්තියකි. සංගීතයට ප්‍රිය කළ කලාකාමිනියකි.


“මම මගේ දියණිය නිසා කියනවා නෙමෙයි. ඇය තුළ සුවිශේෂී ගති පැවතුම් හුඟක් තිබෙනවා. ඇය පාසලේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විධියට වැඩ කළා. ඒ කොළඹ බිෂොප් විද්‍යාලයේ. ඒ වගේම එහි බෞද්ධ සංගමයේ සභාපති ධුරය දරමින් විශාල වැඩ කොටසක් කළා.

“ලිමිනි දුව පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. ඇයට හොඳට බෙර වයන්න පුළුවන්.

ලිමිනිගේ මේ දක්‍ෂතාව ඇය තවදුරටත් ප්‍රගුණ කර ගත්තේ අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමිනි. එම සංගීත විෂය පිළිබඳව අධ්‍යයනය කළ ඇය 2017 වසරේදී පාසලෙන් සමුගන්නා විට ඒ භූමියට හා පිරිසට උපහාරයක් වශයෙන් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූවාය.

දුව මේ මහ පොළොවේ පය ගහලා ජීවත්වන තැනැත්තියක්. ඇය බුදු දහමට වගේම දේශීය සිරිත් විරිත්වලට හුඟාක් ළැදියි.

“මම දන්නවා ඇය මේ විවාහයෙන් පස්සේ වුණත් ස්වාමි පුරුෂයාගේ දේශපාලන ජීවිතයට උදවු කරයි. නමුත් දේශපාලන කටයුතුවලට නම් ඇය ඍජුව සම්බන්ධ වෙන එකක් නැහැ. ඇය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාවි. ඇය මේ වෙද්දී ඉතා උනන්දුවෙන් ව්‍යාපාර පරිපාලනය ඉගෙන ගන්නෙත් ඒ නිසාමයි. ඒ වගේම ඇය ඉතා හොඳ භාර්යාවක් වේවි.

“මම එහෙම කියන්නේ මම ඇගේ අම්මා ගැනත් හොඳට දන්න නිසා. ඇය මට ඉතා හොඳ බිරියක්. දරුවන්ට හොඳ මවක්. ඇය ඒ යුතුකම් ඉටු කරන ගමන් මගේ ව්‍යාපාරයේ මුදල් කළමනාකරණයට වගේම පරිපාලන කටයුතුවලටත් ලබා දෙන්නේ කිව නොහැකි ධෛර්යයක් හා සේවයක්.

මවට උරුම මේ ගති පැවතුම් ලිමිනි දියණිය ළඟත් තිබෙනවා. ඇය තමයි මගේ ලේකම්වරිය හැටියට දැනුත් වැඩ කරන්නේ. ඇයට ඒ වැඩ කටයුතු ගැන ඉතා හොඳ අවබෝධයක් හා උනන්දුවක් තිබෙනවා.”

තිලක් වීරසිංහ මහතාගේ ප්‍රිය බිරිය අරුණි වික්‍රමරත්න මහත්මිය මෙරට සිටි දක්‍ෂතම ක්‍රීඩිකාවකි. ඇය දමයන්ති දර්ශා හා ශ්‍රියානි කුලවංශ මෙන්ම සුසන්තිකා ජයසිංහ මෙන්ම ක්‍රීඩා පිටිය දීප්තිමත් කළ තවත් අපූරු චරිතයකි. ඇය එකල තරග කළේ මීටර් 100 – 200 ඉසව්වන්. එමෙන්ම සහාය දිවීමේ තරගවලදී කෙටිදුර ධාවන අවසන් තරගකාරිය ලෙස යෂ්ටිය අතට ගන්නේ ඇයයි.

අරුණි වික්‍රමරත්න මහත්මිය ක්‍රීඩා කරන සමයේ අපේ කථානායකයා තිලක් වීරසිංහ මහතාද ක්‍රීඩාවට සම්බන්ධ වී කුසලාන රැසක් හිමිකරගත් වග සඳහන්ය. ඒ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින්ය. තිලක් වීරසිංහ මහතා ජල ක්‍රීඩා ශූරයෙකි. ඔහු වැඩි වශයෙන්ම පදක්කම් දිනා ඇත්තේ රුවල් ඔරු හා ‘වින්ඩ්සර්ෆින්’ ක්‍රීඩාව වෙනුවෙනි. ො

ක්‍රීඩාවට දැඩිව ආදරය කරන තිලක් වීරසිංහ මහතා තමා ජාත්‍යන්තරයෙන් ලබාගත් දැනුම නව පරපුරට ලබා දෙන්නේ හද පිරි බැතියෙනි. ඔහු ඒ වෙනුවෙන් විවිධ වැඩමුළු හා දේශනවලටද සහභාගි වේ. වීරසිංහ මහතා මේ නිසාම දේශීයව හා විදේශීයව ජනප්‍රිය චරිතයකි. ඔහු මේ වැඩකටයුතු කරන්නේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පවා අද්විතීය නාමයක් තබා ගන්නා අතරේය. සැබෑවටම මේ වැඩකටයුතු නිසා දේශපාලන භේදයකින් තොරව ඔහු ඇසුරු කරන ප්‍රභූ පිරිසද සුළු පටු නොවේ. එහෙත් ඒ සියලු ගෞරව සම්මාන හා හිතවත්කම් මැද ජීවත් වන තිලක් වීරසිංහ මහතා වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හිත හොඳ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ජීවත් වන චරිතවත් පුද්ගලයකු ලෙසිනි.

“ලිමිනි ඇරුණු කොට අපට තව එක පුතෙක් ඉන්නවා. ඔහු ජනිත්. තවම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනවා. ඉතින් පවුලක් හැටියට අපි සතුටින් ඉන්නවා. නාමල් පුතා තමයි අපේ පවුලට එකතු වන අලුත් සාමාජිකයා. නමුත් ඔහු අපිට හුඟාක් පුරුදුයි. කිට්ටුයි.”

තිලක් වීරසිංහ මහතාගේ ආදරණීය බිරිය අරුණි වික්‍රමරත්න මහත්මියගේ ඥාති තවත් දේශපාලන චරිතයක් ගැනද මෙහිදී මතක් කළ යුතුය. ඒ හිටපු දේශපාලකයකු වූ ආනමඩුවේ සද්ධාතිස්ස වඩිගමංගාව මහතාය. රෙද්ද බැනියම ඇන්ද මේ අපූරු දේශපාලනඥයා මුලින් ඉංග්‍රීසි ගුරුවරයෙකි.

“ඔහු තමයි මමයි අරුණියි විවාහ වෙද්දි අපිව පෝරුවට නැග්ගුවේ. ඥාතිත්වයට ඔහු අරුණිගේ මාමා. ඒ වගේම ඇයගේ පියාගේ බාල සොයුරා තමයි හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා.”

ගහට කොළට ගමට හා හේනට කුඹුරට ඇලුම් කරන පවුලක් ලෙස ප්‍රසිද්ධ වීරසිංහ පවුල හා වික්‍රමරත්න පවුල අදටත් ජීවත් වන්නේ ඒ වටපිටාව සමඟය. ඇසුරු කරන්නේ ගම්මුන්ය. දානමාන කටයුතු සිදුවන්නේ ගමේ පන්සලත් සමඟය.

“අපි යක්කල. මහ ගෙවල් තිබෙන්නේ එහෙ. පුංචි කාලේ ඉඳලම ලිමිනි ඉස්කෝලේ ආවෙත් යක්කල ඉඳලයි. ස්වාභාවික පරිසරයට අපි ආදරය කරන්නේ ඒවා ආරක්ෂා කරන්න හිතන්නේ ඒ බැඳීම නිසාමයි. ලිමිනි දුව යහපත් දරුවෙක් කියලා මම කියන්නේ මෙන්න මේ බැඳීම් එක්ක වැඩ කරන නිසායි. ගමේ වැඩිහිටියෝ තමයි අපේ ළඟම හිතවතුන්.”

මේ අපි නොදත් ලිමිනි වීරසිංහ පවුලේ කතාවය. නගරයේ වැඩ රාජකාරි කළත්, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඉංග්‍රීසියෙන් වැඩ කළත් සිංහල ගැමිකම දත් ඔවුන්ගේ කතාවය. මේ සරල ගති පැවතුම් මහිින්ද රාජපක්ෂ පවුලේ ඇත්තන් තුළ පවා ඇති බව බොහෝ දෙනා දන්නා සත්‍යයකි. ඉතින් නාමල් රාජපක්ෂ මහතාට ලිමිනි වීරසිංහ මෙනෙවිය කෙතරම් ගැළපෙන්නේ දැයි කියන්නට දැන් සහතික අවශ්‍ය නැත. කාලය ඒ ගැළපීම මනාව ගළපා ආදරණීය හෙට දවසක් වෙනුවෙන් මේ යුවළ මුණගස්වා ඇත.

“මනාලියගේ පින්තූර පසුව බලමු. එතෙක් සැප්තැම්බර් මාසේ 17 වැනිදා පැවැත්වීමට නියමිත මේ විවාහය ගැනත් අපි මතක් කරමු.” තිලක් වීරසිංහ මහතාගෙන් සමුගැනීමට පෙර මම ඔහු වෙතට හැරී ඇසුවෙමි.

“ඔව්… ඇත්තටම ඒක බොහොම චාම් විවාහ උත්සවයක් වේවි. තවම නැකැතට බුලත් දුන්නේ නැති නිසා පැවැත්වෙන ස්ථානය මට නොකියා ඉන්න අවසර දෙන්න.”

“අපි මේ විවාහ උත්සවය පවත්වන්නේ දේශීය චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීලා. ඒ උත්සවය ඉවර වුණාට පස්සෙ අපේ හිතවත් පිරිස වෙනුවෙන් වෙනම උත්සවයක් පවත්වනවා.

ඇත්තටම අපි මේ දේවල් හදිසියේ මාධ්‍යයට කියන්නේ නැතිව ටිකක් ඉඳලා කියන්න හිටියෙ. ඒත් මෝදි අගමැතිතුමා නිසා මේ විවාහයේ ආරංචිය මාධ්‍යයට ගියා” තිලක් වීරසිංහ මහතා හිනාවෙමින් කීවේය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
– mawbima