https://www.gossiplankanews.com/2019/06/icc-sri-lanka-semi-final-prediction.html
ලෝක කුසලාන ක්‍රිකට් 2019 මෙවර තරගාවලිය මුල් වටය පවත්වමින් සිටිනුයේ සියලු කණ්ඩායම් සියලුම ප්‍රතිවාදීන් හා තරග වදින ආකාරයෙනි. ඒ අතරින් 4 දෙනෙකු තෝරා ලබන ජූලි 9 වනදා හා ජූලි 11 වනදා පවත්වන අර්ධ අවසන් තරග දෙකින් පසු අවසන් තරගය ජූලි 14 වනදා පවත්වන්නට දින යොදා ගෙන ඇත.
තරගාවලියේ තරග රැසක්ම මේ වනවිට පවත්වා තිබෙන අතර
පැහැදිලි ලෙස අර්ධ අවසන් තරග වටයට තෝරාගන්නා කණ්ඩායම් මෝදුවී තිබේ.
තරග ලකුණු සටහන අනුව ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය ඉදිරියෙන්ම සිටින අතර

එම රටවල් දෙක පසුබාවියයි සිතීම උගහටය.

එංගලන්තය හා ඉන්දියාව ඊළඟට සිටී. මෙම 4 දෙනා අතරින් එංගලන්තය හෝ ඉන්දියාව පසුබාන්නේ නම් ඒ එක් තැනක් අල්ලා ගන්නට ශ්‍රී ලංකාවට උත්සාහ කළ හැකි බවට බලාපොරොත්තු ඊයේ (21) ජයග්‍රහණය සමග ක්‍රිකට් ලෝලීන්ට ඇතිව තිබේ.
විශේෂයෙන්ම එංගලන්ත ඉදිරි පරාජයන් ගැන අවධානය යොමුවිය යුතුය.

එංගලන්තයට තවත් තරඟ තුනක් තිබෙන අතර ඒ ඕස්ට්‍රෙලියාව ඉන්දියාව හා නවසීලන්තය සමගිනි.
දැනට හොදම ක්‍රීඩා විලාසයන් පෙන්නුම් කර තිබෙන රටවල් 3 සමග එංගලන්තයේ ඉදිරි තරගවැදීම් අභියෝග සහිතය. එයින් දෙකක් හෝ එකක් ජයගතහොත් ලංකාවට අර්ධ අවසන් වටයට අවස්ථාවක් සඳහා වාසිදායි පරිසරයක් නිර්මාණය වේ.

ශ්‍රී ලංකාවේ මීළඟ තරග තුන යෙදී ඇත්තේ බටහිර කොදෙව්, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සමගිනි. මෙහිදී ඉන්දියාව සමග තරගය තරම් අනෙක් දෙක අමාරු නැත. ඊයේ පැවති උද්යෝගය එලෙසම පවතින්නේ නම් කොදෙව් තරගය හා අප්‍රිකානු තරගය ජයගන්නට යම් බලාපොරොත්තු ඇති කර ගත හැකිය.
එංගලන්තයේ පසුබෑමක් සිදුවේ නම් ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද එම අවස්ථාව වාසියක් කරගැනීමට ඉඩ තිබෙන බව පෙනී යයි.
බංගලාදේශයට ඉදිරියේදි ඉන්දියානු, පකිස්තාන තරග ජයගැනීමේ අභියෝගයක්ද පවතින අතර මෙවර පෙරළිකාරයා වන්නේ බංග්ලාදේශයද ශ්‍රී ලංකාවද යන්න ඉදිරි තරග අනුව නිශ්චය වනු ඇත.