https://www.gossiplankanews.com/2019/06/62-insaf-ahamed.html#more
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළ සිදුවූ මරාගෙන මැරුණු බෝම්බකරු වූ වැල්ලම්පිටිය තඹ කම්හල හිමි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 62ක පමණ වටිනාකමකින් යුත් ඇලුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුළු කන්ටේනර් බහාලුමක් සොරකම් කිරීමේ වරදකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක ප්‍රධාන සැකකරු වන බවට
අධිකරණයේදි කරුණු අනාවරණය විය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවේ මෙම නඩුව විභාග වෙමින් පවතී.අංක 30/7 පටුමඟ, ශාන්ත බෙනඩික් මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි සන්දනම් ජෝසෆ් ඇන්තනී නමැති ව්‍යාපාරිකයා මේ පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කරුණු හෙළිකොට මොහොමඩ් ඉන්ෆාස් අහමඩ් යන පුද්ගලයාට එරෙහිව පසුගිය 2013 වසරේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.


රුපියල් හැට එක් ලක්ෂ හැටහය දහස් පන්සිය විසි පහක් (6,166,525) පමණ වටිනා ඇලුමිනියම්, පින්තල හා යකඩ අඩංගු කටේනර් බහලුමක් සොරකම් කළැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබඳ විමර්ශනය කර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් අහමඩ් ඇතුළු සැකකරුවන් හත්දෙනකුට එරෙහිව චෝදනා ගොනුකර 2013 මැයි මස 30 වැනි දින අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

ඉකුත් ජනවාරි මස 29 වැනි දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙහි ප්‍රධාන සැකකරු වූ අංක 658/90, මහවිල උද්‍යානය, දෙමටගොඩ පදිංචි මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් අහමඩ් අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි. මෙම නඩුවේ අනෙක් සැකකරුවන් ලෙස අංක 654, බේස්ලයින් පාර, දෙමටගොඩ, කොළඹ 9 පදිංචි අබ්දුල් කාදර් මොහොමඩ් මන්සූර්, අංක 84/4 ඕ, මාලිගාවත්ත පටුමග, කොළඹ 10 පදිංචි මොහොමඩ් බුහාරි මොහොමඩ් සුහාර්, අංක 74/1, වරාගොඩ පාර, කැලණිය පදිංචි කොඩිතුවක්කු හෙට්ටිආරචිචිගේ අතුල දසනායක, අංක 36/69, නවලෝක උද්‍යානපුරය, ඔලියමුල්ල, වත්තල පදිංචි මොහොමඩ් නසීර් මොහොමඩ් අස්ලාම් අංක ඕ 3/11 සමඟිපුර මහල් නිවාසය, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 පදිංචි නවගමුව දේවගේ ජිනේස් නාලක හා කොටහේන පදිංචි බුද්ධි හෙවත් කච්චා යන අය නම් කර තිබිණි.

නඩුව කැඳවූ මුල් අවස්ථාවේදි මේ පිළිබඳ සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර තිබූ අතර මෙම නඩුවේ 7 වැනි සැකකරු වන බුද්ධි නමැත්තා මෙම නඩුවෙන් මුදාහැර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.එබැවින් බුද්ධි හෙවත් කච්චා යන අය මෙම නඩුවේ මේ වනවිට සැකකරුවකු නොවන අතර මෙම නඩුවේ සැකකරුවන් හය දෙනකු පමණක් නම් කර සිටින බව අධිකරණයේ සඳහන් විය.


මෙම නඩුව පසුගිය ජනවාරි 29 වැනි දින කැඳ වූ අවස්ථාවේදි WPL 6614 යටතේ නීති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවත් ඒ පිළිබඳ උපදෙස් ඒ වනතෙක් ලැබී නොමැති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබිණි.

මේ වනවිට මෙම නඩුවේ පළමු සැකකරු වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගෙන මියගොස් ඇති බැවින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පුද්ගලයන් පස්දෙනකු පමණක් ඉතිරිව සිටියි. මෙම නඩුව ලබන සැප්තැම්බර් 10 වැනි දින යළි විභාගය සඳහා කැඳවීමට නියමිතය.

-හංසි නානායක්කාර-