https://www.gossiplankanews.com/2019/04/shakthika-sathkumara-prisoned.html#more
බුද්ධ චරිතයට අපහාස වන ආකාරයට මුහුණු පොතේ ලිපි පළකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි ශක්තික සත්කුමාර මහතා
ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මහත්මිය පෙරේදා (01) නියම කළාය.
දෙල්දෙනියේ රතනසාර,  දළුහේනේගෙදර මේධංකර, පලලේවෙල රතනසාර, උඩුගම පේමානන්ද යන හිමිවරුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මගින් සැකකාර සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකාර නිලධාරියා දිගු කලක සිට මුහුණු පොතේ තම අඩවියෙන් බුද්ධ චරිතයට, යශෝදරා දේවියට සහ රාහුල  කුමාරයාට අපහාස වන අයුරින් කෙටි කතාවක ආකාරයට කොටස් වශයෙන් ලිපි පළ කර ඇතැයි ද,

මේවා කියවා බැලූ බොහෝ දෙනකු ඒ පිළිබඳව  ප්‍රදේශයේ නායක හිමිවරුන්ට පැමිණිළි කර තිබූ බව ද පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් දසනායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.


යොවුන් ලේඛකයකු වන ශක්තික සත්කුමාර සිව්වනි පරපුර, කළු මකරා සහ පතාක් කටු යනුවෙන් කෙටිකතා සංග්‍රහ ත්‍රිත්වයක් පළ කර ඇත. 2010 සහ 2014 වර්ෂවල විශිෂ්ටතම කෙටිකතාකරුවාට හිමි ජාතික යෞවන සම්මානය දිනාගෙන තීබෙන මොහු තම කෙටිකතා සංග්‍රහ සඳහා දෙවරක්ම වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිකරගෙන තිබේ. කැලණිය විශ්වවිදහලයේ සිංහල විශේෂවේදී (ගෞරව) උපාධිධාරීයකු වන ශක්තික  කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජනමාධ්‍ය ඩීලෝමාධාරීයක් ද වෙයි. එමෙන්ම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ලේඛකත්වය හා සන්නිවේදන ඩිප්ලෝමාවක් හිමි කරගෙන ඇති අතර, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයන්හී බුද්ධධර්ම ඩිලෝමාධාරීයක් ද වෙයි.

බුදුන්වහන්සේගේ සහ බුද්ධ චරිතය අපහාසයට ලක්  කෙරෙන ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ආගමික ගැටුම් ඇති කළ හැකි බරපතළ කාරණයක් බව කියා සිටි නීතිඥ දසනායක මහතා මේ පිළිබඳව, මුහුණු පොත් බලධාරින්ට පැමිණිලි කොට සැකකාර නිලධාරියාගේ මුහුණු පොතේ අඩවිය තහනම් කිරිමට කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය. මෙම  ලේඛකයාට එරෙහිව කුරුණගල දිස්ත්‍රික්  ලේකම්වරයාට සහ පොල්ගහවෙල ප්‍රාදේශීය  ලේකම්වරයාට ද පැමිණිලි කළ බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකාර ලේඛක සංවර්ධන නිලධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය. සැකකරු වෙනුවෙන් නීතිඥ රත්නායක මහතා පෙනී සිටියේය.