හිටපු පාතාල නායකයකු වූ සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා වන අරඔවෙලගේ ‍දොන් ලක්සිත ප්‍රසන්න නමැත්තා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සහ
ගිනි අවියක් සමඟ කටුබැද්ද, කුඩුවන්මුල්ල පාරේ දෙමහල් නිවෙසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි. එම නිවෙසේ සඟවා තිබූ කිලෝ දෙකයි ග්‍රෑම් පන්සිය හතළිස් නවයක් බර මත්කුඩු සහ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සොත්ති උපාලිගේ පුතා මේ වනවිට
බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ බොරැල්ලේ තිලාන් නමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතාට ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ කටුබැද්ද, කුඩුවන්මුල්ල පාර ආවරණය වන පරිදි දින ගණනාවක් මුළුල්ලේ ආවේක්ෂණ රාජකාරි සිදුකරමින් සිටියදී පා ගමනින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි ග්‍රෑම් 10ක මක්කුඩු ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සැකකාර පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදි ඉකුත් 28 වැනි දින රුපියල් විසි හත්දහසක මාසික කුලී පදනම මත ලබාගත් කුඩුවන්මුල්ල නිවෙස තුළ මත්කුඩු තිබෙන බවට අනාවරණය වීමෙන් අනතුරුව කරන ලද වැටලිමේදි මත්කුඩු තොගය සහ ගිනි අවිය සොයාගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. මෙම පුද්ගලයා හෙළිකළ තොරතුරු අනුව බන්ධනාගාරගතව සිටින තිලාන් නමැත්තා නාඳුනන පුද්ගලයකු හරහා මෙම මත්කුඩු තොගය එවූ බවත් තිලාන් ලබාදෙන දුරකථන ඇමතුම් අනුව මත්කුඩු කළුතර, ගල්කිස්ස, පිළියන්දල, රත්මලාන හා මොරටුව ආදී ප්‍රදේශවලට බෙදාහැරීම සඳහා සූදානමින් සිටි බවත් සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

-එම්.සී.පෙරේරා-