https://www.gossiplankanews.com/2019/04/saharan-hashim-story.html
හරාන් හෂීම් යනු බෝම්බ පුපුරුවා ගත් එම සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් මෙන් වත්පොහොසත්කම් හෝ මිල මුදලින් සපිරි පුද්ගලයකු නොවන බව මේ වනවිට අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  සහරාන් හෂීම් එහි පිහිටි ජාතික තවුහීද් ජමාද් පල්ලියේ ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පිළිබද ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
මෙම පල්ලියද ඔහු විසින්ම පිහිටුවා ගන්නා ලද්දකි.  අවුරුදු 33ක පමණ වයසේ පසු වුණු ඔහු විවාහ වී ඇත්තේ මොහොමඩ් හාදියා නම් වසය අවුරුදු 23ක
කාන්තාවක සමගයි. ඔවුන්ට වයස අවුරුදු අටක පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු හතරක ගැහැනු දරුවෙකු සිටින බව අනාවරණය කරගෙන තිබේ. සහරාන් හෂීම්ගේ පවුල් ඔහු හැරෙන්නට සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු සිටි බව පැවසෙයි. ඔහුගේ පියා 55 හැවිරිදි හයාත් මොහාමඩ් හෂීම් වන අතර මව 50 හැවිරිදි අබ්දුල් කාදර් සමීනා ලෙස සඳහන් වෙයි.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට හෂ්ම්ගේ පවුලේ සාමාජිකයෝ සියල්ලෝම නිවෙසින් අතුරුද්දන්ව ඇතැයි මේ පිළිබඳව අනාවරණය කරන ඔහුගේ සහෝදරිය වන හෂිම් මදානියා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අනුව එදින තමන් සිය මවුපියන්ට සහ සහෝදරයන් දෙදෙනා හමුවීමට ගිය බවත් එදින පටන් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් ඇය පවසයි.

"ඔහු මේ මුස්ලිම් පල්ලිය තුළ ආගමික ඉගැන්වීම් ආරම්භ කළේ2017 වසරේදීය. එතැනදී ඔහු ලෝකය බිහිවී තිබෙන්නේ මුස්ලිම්වරුන්ට බවත් අනෙකුත් ආගමිකයන්ට එහි ඉඩක් නැති බවත් ඉගැන්නුවා. ඒත් අපි මේ ඉගැන්වීම්වලට කැමති වුණේ නැහැ. ඒ නිසාම අපි ඔහු සමග පැවැත්වූ සබඳතා නැවැත්වුවා''
යනුවෙන් ඇය සදහන් කරයි.

මේ අතර, 2017 වසරේ මාර්තු 10 වැනිදා කාතන්කුඩියේදී ඇතිවුණු යම් ගැටුම්කාරී තත්වයකින් පසුව සහරාන් එම පළාතෙන් පලාගොස් ඇත.

 ඒ අනුව, එතැන් සිට පසුගිය පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගන්නා තෙක්ම සහරාන් පිළිබඳව කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බවද සහෝදරිය අනාවරණය කර තිබේ. එසේම ඔහුගේ තෙවැනි සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් හෂිම්ද මේ වනවිට අතුරුදහ්ව සිටියි.  කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මහනුවර ප්‍රදේශයේ බෞද්ධ පිළිම වෙත හානි කිරීමේ සිදුවීම පිටුපසද හෂීම් සිටින බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 සහරාන්ගේ මූලිකත්වයෙන් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ජාතික තවුහීද් ජමාද් සංවිධානය පිහිටු වෙන්නේ 2011 වසරේදීය. මෙය ඉතා කුඩා ප්‍රදේශයක් වුවත් එහි ඉහළ ජන ඝනත්වයක් පවතී. මෙහි අදටත් මුස්ලිම් පල්ලි 63කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ.

 ඒ අතරින් පල්ලි 3ක පමණ වහාබ්වාදය පිළිබඳ මූලධර්මීය අදහස් ප්‍රචලිත කිරීමේ යෙදී සිටියි. ඉන්දියානු මාධ්‍ය සදහන් කරන ආකාරයට මේ වසරේ එක් දිනෙකදී මඩකලපුවේ කාත්තන්කුඩියේදී සිදුවුණු යතුරුපැදියක් පිපිරීයාමේ සිදුවීම මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධතාවක් පවතින බවට සැක කෙරේ.



මෙම කාන්තන්කුඩි නගරය යනු ඊළාම් යුද්ධය අවස්ථාවේදී 1990 වසරේ දිනෙක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මුස්ලිම් පල්ලි වෙත පහරදී මුස්ලිම් භක්තිකයන් 150 දෙනෙකු ඝාතනය කර දැමු ස්ථානය ලෙසද ඉන්දීය මාධ්‍ය යළිත් සිහිපත් කර ඇත.

"ඔහු හැම විටම කියපු දෙයක් තමයි අපි කුරානයේ පවසලා තියෙන විදියට ජීවත් වෙන ඕනේ කියන එක. සොරකමකදී ඒ හොරගේ අත කපා දැමිය යුතු බවත්, අනියම් සබඳතාවලදී ගල් ගැසීම් දඩුවම ලබාදිය යුතු බවත් ඔහු කීවා. ඔහුට වුවමනා වුණේ ෂරීයා නීතිය ගෙන එන්න. ඒත් මෙහි රට සෞදී අරාබිය නෙමෙයි කියලා අපි හැමවිටම ඔහුත් සමග ඒ ගැන වචන හුවමාරු කරගත්තා."

කාතාන්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ හිටපු සාමාජිකයකු වන අබ්දුල් ලතීෆ් මොහොමඩ් සබීල් එලෙස පවසා ඇත.


කාත්තන්කුඩියේ දිළිඳු පවුලක උපත ලබා ඇති සහරාන් හෂීම් කුඩා කල සිටම නොහික්මුණු පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇත. එසේ ඔහු අධ්‍යාපනය ලබද්දී උගැන්වීම් සිදුකළ ගුරුවරුන් සමගින් විවාදයේ පැටලීම නිසා පාසලින් පවා නෙරපූ අයකු බවත් පැවසෙයි. අනතුරුව නගරයෙන්ද පලා ගොස් ඇති ඔහු පසුව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත පාසලකින් අධ්‍යාපනය ලබා තිබේ.

"ඔහු නැවත කාත්තන්කුඩියට ආවේ අරාබි සහතිකයක් එක්කයි. ඉන් පස්සේ ඔහු ආගමික ඉගැන්වීම් සිදුකළා. ඔහු හොද කථිකයෙක් වුණු නිසා බොහෝ පිරිසක් ඔහු වටා එකතු වුණා. ඔහුට පුළුවන් වුණා 300ක පමණ අනුගාමිකයන් පිරිසක් තමා වටා රැස් කරගන්න.”

සබීල් වැඩිදුරටත් පවසා සිටියි. හෂීම් ගැන පැමිණිලි පිට පැමිණිලි
කෙසේ වෙතත් ඔහුගේ මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් 2017 වසරේදී අවස්ථා ගණනාවකදීම පොලිසිය වෙත සහ මුස්ලිම් ආගමික කටයුතු දෙපාරිතමේන්තුව වෙත පවා පැමිණිලි ලැබී තිබේ. ඒ සමගම හෂිම්ද කාත්තන්කුඩියෙන් අතුරුදන්ව ගොස් ඇත.

 ආගමික ඉගැන්වීම සම්බන්ධයෙන් ඔහු ලැබූ ප්‍රසිද්ධියත් සමගම විදෙස් රටවලදී එවැනි ඉගැන්වීම් සිදුකිරීම සඳහාද ඔහුට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි ඇතැම් පිරිස් විශ්වාසය පළ කරයි.  අනතුරුව සහරාන් හෂීම් යළිත් කරළියට එන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ බුදු පිළිම කිහිපයක් වෙත හානි කිරීමේ සිදුවීමත් සමගිනි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පසුගිය ජනවාරි මාසයේදී  පුත්තලම ප්‍රදේශයේ පොල් වත්තක තිබී පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් සහ අන්තවාදී ඉගැන්වීම් සහිත ලියවිලි රැසක් සොයා ගැනීමට හැකිවී තිබේ.

සහරාගේ මරණයෙන් පසුව ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ නායකත්වය මේ වනවිට මවුලවි තවුෆීක් නම් 33 හැවිරිදි පුද්ගලයෙකු වෙත පිරීනැමී තිබේ. කෙසේ වෙතත් ඇතැම්විට සහරාන් හෂීම් මෙම බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධවීමක් සිදු නොවී මේ වනවිට සැඟවී සිටිය හැකි බවටද ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සඳහන් කර සිටියි. ඒ පිළිබදව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.