ඉකුත් 21 වැනි පාස්කු ඉරිදා දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක සිදුවු බෝම්බ පිපිරීම්වලින් අනතුරුව පොලිස් ඇදිරි නීතියෙන් පසුව විවෘත වෙළෙඳපොළේ අල, ලොකු ලුනු, රතු ලූනු, සුදු ලුනු, පරිප්පු, කඩල,
මුංඇට ඇතුළු අතවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය මෙන්ම එළවළු, අලුත් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍යයද ශීඝ්‍රයෙන් මිල ඉහළ ගොස් තිබේ. මෙවර විශේෂත්වය වී ඇත්තේ මෙතෙක් ඒ ඒ ද්‍රව්‍ය සඳහා රුපියල් 5,10 වැනි මුදලකින් එහා  මෙහා වන සම්මත මිලක් පැවැතියද, ඒ වෙනුවට වෙළෙඳසල් හිමිගේ හිතුමතයට මිල
ගණන් වෙස්කරමින් අධික මිල ගණන්ලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් පාරිභෝගිකයා ගසාකෑම බව කළ විමසුමකදී අනාවරණය විණි.

පොලීස් ඇදිරිනීතිය හා හදිසි නීතිය උපයෝගි කරගනිමින් වෙළෙඳුන්ට පාරීභෝගිකයන් ගසාකෑමට අවස්ථාව ලැබී ඇත්තේ ආනයනික ආහාර තොග වරායේ සිට නිදහස් කර ගැනීමට ඇති බාධාවන් මෙන්ම පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් එළවළු ගොවීන්ගේ නිෂ්පාදන, ධීවර කර්මාන්තයෙන් අල්ලා ගන්නා මත්ස්‍ය තොග රාත්‍රි කාලයේත් තොග වෙළෙඳපොළ කරා ප්‍රවාහනය කිරීමේදී ඇතිවන බාධා නිසා කොළඹට දිනපතා අලුයම් කාලයේ පැමින එම නිෂ්පාදන රැගත් ලොරිරථ බෙහෙවින් සීමා වීම නිසා බව මැනිං වෙළෙඳසල් හිමියෝ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ අලෙවිකරුවෝ පවසති.

මෙම තත්වය නිසා කොළඹට තදාසන්න කිරිබත්ගොඩ, කඩවත, වත්තල, රාගම, ගම්පහ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව වැනි නගරවල ලොකු ලුනු, අර්තාපල්, පරිප්පු, කඩල, මුංඇට, සුදු ලූනු කරවල වැනි ආනයනික ආහාර වර්ග අවුරුදු සමයේ පැවැති මිල ගණන්වල වඩා මේ වන විට සියයට 50-70ක් අතර මිලකින් ඉහළ ගොස් තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් ගතවූ අවුරුදු සමයේ රුපියල් 225-250ත් අතර මිලකට අලෙවි කළ සුදු ලූනු කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 400ක් වැනි ඉහළ මිලකටය.  අවුරුදු සමයේ රුපියල් 100-150ත් අතර මිලකට අලෙවි වූ උඩරට එළවළුවල මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

ඒ අනුව කැරට්, බෝංචි, ලික්ස් වැනි උඩරට එළවළු කිලෝක මිල මේ වන විට රුපියල් 340- රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ. පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් උඩරට එළවළු ගොවීන්ගේ නිෂ්පාදන රාත්‍රි කාලයේ ප්‍රවාහනය කිරීමට ඇති බාධක හා දුෂ්කරතා හේතුවෙන් මෙසේ මිල ඉහළ ගිය බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර කොළඹ නගරයේ ඇතැම් හෝටල් සහ ආහාර අලෙවිසල්වල බත් සහ වෑංජන සමඟ දිවා ආහාර
වේලක මිල පසුගිය සතියේ සිට රුපියල් 20-30ත් අතර මුදලකින් ඉහළ නංවා තිබේ. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ඉකුත් 22 කොළඹ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් විවෘත කිරීමට නියමිතව තිබුණද උද්ගත  වූ හදිසි තත්ත්වය හේතුවෙන් ඊයේ 28දා වන විටත් ඒවා විවෘත කර නොතිබිණි.

-උපතිස්ස පෙරේරා-