https://www.gossiplankanews.com/2019/04/saharan-friends-nabbed.html#more
පසුගියදා කල්මුනේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී මියගියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සහරාන්ගේ පියා හා සහේදරයින් ඇතුළු සමීපතමයින් බවට මේ වනවිට කරුණු අනාවරණයවී තිබෙයි.
තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද්දේ සහරාන්ගේ බිරිය හා දරුවෙකු බවද පොලිසිය තහවුරු කරගෙන ඇත.
ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මොහොමඩ් සහරාන්ව අධ්‍යාත්මික වශයෙන් පොළඹවා නායකත්වය ලබාදුන් පූජකවරයාද
පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය  මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන්  පදිංචිව සිටි මඩකළපුවේ

කාත්තන්කුඩි නිවසක හිමිකරුද ඊයේ අත්අඩංගුවට පත්වූ අතර  ළඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව මිහින්තලය පොලීසිය කියයි.
ආගමික ප්‍රචාරණය සමාජ සේවය වැනි කටයුතු සිදු කරන බව දක්වමින් ජාතික තවුහිඩ් ජමාත් සංවිධානය මඩකලපුව තුළ ක්‍රියාත්මක වී ඇත්තේ පුජාතන්ත්‍රවාදී මුහුණුවරකිනි. ඔවුන්ගේ කාර්යාල ඉදිරිපිට බැනර් හා පෝස්ටර් පවා සවිකර තිබූ අතර බැලුබැල්මට ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුතු සිදුකරන ආකාරයක් දිස් නොවූ අතර රහස් සංවිධානයක් ලෙස පෙනී සිට නැත.
මේ ආකාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන්නට සහරාන්ගේ සංවිධානය පෙළැඹෙන්නේ විදේශ අයිඑස් සංවිධානයේ හස්තයක බලපෑමෙනි.ඔවුන් මෙම සංවිධානය අතකොලුවක් බවට පත්කරගෙන තිබෙන බව මේ අනුව පෙනී යයි.
අයි එස් සංවිධානය සිය සංවිධානය තුළ ක්‍රියාකාරකම් සිදු කරන අයට විශාල වශයෙන් මුදල් ගෙවන අතර මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කරන්නේ ඒ අයට පරම්පරාවකට සරිලන මුදල් ලබාදීමෙන් පසුව බවට වාර්තා සටහන් තිබේ.එසේම ඉස්ලාමික රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින අයිඑස් සටන් කරුවන් තමන්ගේ ග්‍රහණයට හසුකරගත් අය වෙනුවෙන් දිගටම පෙනී සිටී. ඔවුන් ඔලු සෝදා තම අරමුණ වෙනුවෙන් ඕනෑම කෙනෙකු නම්මවා ගැනීමටද සමතුන්ය.
 ප්‍රහාරයන් දියත් කිරීම සඳහා මොහොමඩ් සහරාන් දිරිමත් කර ඇත්තේ, ඊයේ අත්අඩංගුවට පත්වූ පූජකවරයා බව පොලීසිය පැවසීය. ඉස්ලාම් ආගමික ප්‍රචාරය හා සමාජ සේවය මැයෙන් සංවිධාන ගතවූ අයෙකු වුවත් සහරාන් මුලසිටම හිතුවක්කාර ගති හා අන්තවාදී ලක්ෂණ පෙන්වූ අයකු බව ඔහුගේ සමීපතමයින් පසුගියදිනවල අදහස් පළ කර තිබුණි. බුදු පිළිම කැඩීමේ සිද්ධි වාර්තා වූ කාලයේම පොලිසිය උනන්දුවී  මේ අය ගැන සොයා බලාතිබුනේ නම් මෙතරම් විපතක් සිදුකිරීම දක්වා ඔවුන් වර්ධනය වන්නට ඉඩ නොතිබූ බවද මතයකි.

සිකුරාදා රාත්‍රියේ නින්දවුර් ප්‍රදේශයේ නිවසක සිදුවු පිපිරිම්වලින් තුවාල ලැබුවන් අතර සහරාන් බිරිඳ සහ දියණිය සිටින බවට අනාවරණය වීමෙන් පසු ඔවුන් ප්‍රශ්න කිරීම තවම අරඹා නැත. සහාරාන්ගේ බිරියගෙන් ඔහු කළ කී දේ ගැන තවත් තොරතුරු හෙළි කරගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මීට අමතරව සහරාන්ගේ රියැදුරු වන ගෆුර් නමැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී මඩකළපුව වව්නතිව් පොලිස් මුර පොළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ද අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය.
පාස්කු ඉරුදින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ඊයේ නාවලපිටියේදී අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ද සරාන් සමග සමීපව වැඩ කළ අයයි.
ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ කොළඹ ලේක්ම් බව කියන මොහොමඩ් ෆාරුක් මෙහොමඩ් පවාස් නම් පුද්ගලයෙකු, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.