https://www.gossiplankanews.com/2019/04/malinga-resign-and-leave.html#more
ලෝක කුසලාන තරගාවලිය සඳහා නායකත්වය ලබාදීම පිළිබඳ ගැටලුව මත ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග  තමන්ට ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන්නට ලැබෙන අවස්ථාවෙන් ඉල්ලා අස්වී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපිය ඊයේ (17) පස්වරුව වන විට
සකස් කර තිබූ බවත් එය අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කිරීමට නියමිතව තිබූ බවත් වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට අනපේක්ෂිත ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම මෙම සමුගැනීමට ආසන්නතම හේතුව විය හැකිය.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම්

කමිටුව ඊයේ මාලිංගට නායකත්වයෙන් ඉවත්කිරීමට හේතු දුරකථනය ඔස්සේ පැහැදිළි කර තිබූ අතර එහිදී පවසා තිබුනේ මාලිංග නායකත්වය දුන් තරග පසුගිය කාලයේ පරාජයට පත්වීම හා ඔහු සමග වැඩ කිරීමට අනෙක් කොටසක් දක්වන නොකැමැත්තය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි හෙළි කරන්නේ මාලිංග කන්ඩායම් නායකත්වයට පත්කිරීමට පුහුණුකරු හතුරුසිංහ කිසිසේත් නොකැමැතිවීම මත මෙම තීරණය ගෙන ඇති බවයි. 
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කෙරුනේ මාලිංග වෙනුවට මැතිව්ස් නායකත්වයට පත්කිරීමට දෙවනුව යෝජනා වූ බවත් ඔහු කැමති නැති නිසා දිමුත්ට අවස්ථාව දුන් බවයි.

මේ වනවිට දක්වන දක්ෂතා අනුව ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වන ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවතට විසිවනු ඇතැයිද එසේ හෙයින් නායකත්වය යන්න වැදගත් සාධකයක් නොවනු ඇතැයිද සමාජ මාධ්‍ය තුළ සිදුවන සාකච්ඡාවලදී ක්‍රිකට් ලෝලයින් වැඩි වශයෙන් සඳහන් කළ කරුණයි.
කෙසේ වෙතත් රට වෙනුවෙන් කාලයක් තිස්සේ කැපවුණ දැනට කන්ඩායමේ සිටින පැරණිම ක්‍රිඩකයකු වන මාලිංගගේ සමුගැනීම මේ ආකාරයට සිදුවේ නම් එය මානුෂික වශයෙන් අයහපත් කාරණාවකි.