ලතින් ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයේ දෙවරක් ජනපති පදවිය හෙබවූ 70 හැවිරිදි ඇලන් ගාර්සියා ඔහුට එල්ලවූ මූල්‍ය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නට පොලිසිය ඔහුගේ වාසස්ථානය වටළන ලද අවස්ථාවේ අද (17) හිසට වෙඩිතබාගෙන සියදිවිනසාගෙන තිබේ.

1985-90 හා 2006-11 කාල ද්විත්වයේ පේරු ජනපති ලෙස කටයුතු කළ ගාර්සියා සමාජ විද්‍යා හා නීති උපාධිධරයෙකි. ඔහු අවසන් ධූර කාලය දැරූ සමයේ බ්‍රසීලියානු කොන්ත්‍රාත් සමාගමකට ඔලිම්පික් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුත්තක් පවරාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක් අල්ලස් ලබාගෙන තිබූ බවට චෝදනා නැගී තිබුණි. කෙසේ වෙතත් මීට ටික දිනකට පෙර ඒ ගැන ප්‍රසිද්ධවූ අවස්ථාවේ ඔහු එය තරයේ ප්‍රතික්ෂෙප කළේය.


නමුත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රැඳී සිට නිවසට පොලිසිය පැමිණි විට ඔහු කලබලවී තිබෙන අතර පොලිසිය සමග පැමිණි එරට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වෙත හිටපු ජනපති දන්වා ඇත්තේ තමාට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා වේලාව දෙන ලෙසත්ය.

එසේ කියා තම නිවසේ කාර්යාල කාමරය වෙත ඔහු ගිය බවත් එහි දොර ඔහු වසාගත් පසු ටිකකින් ඇසුණ ශබ්දය පරීක්ෂා කරද්දී හිටපු ජනපතිවරයා තමන්ට වෙඩි තබාගෙන ඇති බව වාර්තාවූ බවයි.
බරපතල තුවාල සහිතව පේරුහි ලීමා නුවර රෝහලකට ඇතුළත් කළ පසුව හිටපු ජනපතිවරයාට හෘදයාබාධ අවස්ථා දෙකකදී වැළඳුණ බවත් අනතුරුව ඔහු මරු වැළඳගත් බවත් වාර්තා කර තිබේ.

මෙම සිද්ධියෙන් තමා කම්පනයට පත්ව ඇති බව වත්මන් පේරු ජනපති මාටින් විස්කාරා පවසා ඇත.
වයස 36 දී ළාබාලම ජනපති ලෙස 1985 පේරු නායකත්වයට පත්වූ මියගිය ඇලන් ගාර්සියා 'ලතින් ඇමරිකානු කෙනඩි' යන උපහාර නාමයෙන්ද හැඳින්වූ ජනප්‍රිය නායකයෙකු විය.
එරට හිටපු නායකයින් 4 දෙනෙකුම දූෂණ චෝදනාවලට ලක්ව තිබෙන අතර මේ දිනවල පේරු රාජ්‍යයේ ඒ ගැන වැඩිදුර විභාග වෙමින් පවතී.

මේ කියන මූල්‍ය දූෂණය සම්බන්ධයෙන් ඔහු කලබලයට පත්ව සිටි නමුත් ඔහුට සිය නිර්දෝෂිභාවය ඔප්පු කරන්නට අවස්ථාවක් නොදී ගෞරවයට හානිවන ලෙස අත්අඩංගුවට යාම නොකරන්නට තිබූ දෙයක් බවට මේ වනවිට වත්මන් නායකත්වයට චෝදනා එල්ලවෙමින් පවතී.

- Yathura.lk
http://www.yathura.lk/2019/04/peru-alangarcia.html