https://www.gossiplankanews.com/2019/04/hm-jayawardane-story.html
යේ අප අතරින් සමුගත් එච්. එම්. ජයවර්ධන සංගීතඥයා ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ කසුන් කල්හාරගේ පියා මියගිය ලෙස පමණි. නමුත් ඔහු ගැන ඊට වඩා යමක් තිබේ. ඔහු යුගයක් වෙනස්කළ කලාකරුවෙකි. පුදුමාකාර ළයාන්විත බවකින් යුතු සංගීත නිර්මාණ රැසකට උරුමකම් කියූ මේ පුංචි මිනිසාගේ ජීවිතයද පුදුම හිතෙන අසම්මත එකකි.
 "ඔබයි රම්‍ය සඳ" නමින් ඔහු වෙනුවෙන් 2011 වසරේ ඔහු ඉගෙනගත් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ උපහාර උළෙලක් පැවැත්විණි.එහිදී රත්න ශ්‍රී විජේසිංහ ඔහු ගැන
කියූ අදහස් මෙපරිදිය.

"එච්. එම්. විඡේසුන්දර නමැති තාත්තා එච්. එම්.  ජයවර්ධන කියන වැඩිමහලු දරුවා නියරේ ගොයම් ඈත් මෑත් කරමින් සියඹලාණ්‌ඩුව විද්‍යාලයට කැඳවාගෙන එනවා . එච්. එම්. ගාන්ධර්වයා මෙලෙස පහළ වන්නේ සියඹලාණ්‌ඩුව කොලොන්ගොඩ, මානාගල ගමේ, 1950 විතර.
1960 එච්. එම්. 5 ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා පස්‌සර මධ්‍ය මහා විද්‍යාලයට පැමිණෙනවා.
මේ අතර හුදෙකලාවේ ඉන්න බැරුව එච්. එම්. තාත්තාට ලියලා යවනවා, මාව එක්‌කගෙන යන්න නැත්නම් පාසලේ පොකුණට පැනලා මැරෙනවා කියලා. එච්. එම්. ගේ තාත්තා එහෙම කළේ නෑ.
ඔහු බහුශ්‍රැතයෙක්‌. ඔහුට හිටියා කිරිවන්නේ කියලා යාළුවෙක්‌. ඔහුගෙන් බටනලා වාදනය ඉගෙන ගත්තා. එච්. එම්. 1965 සා/පෙළ ලියලා මේ පාසලෙන් එළියට ගිහින් විරැකියාවෙන් පෙළෙන තරුණයන් අතරට එක්‌වෙනවා.
එතැනින් පසුව ගමට ගිහින් ලියුම් බෙදනවා. සමුපකාරයක කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කරනවා. පස්‌සරටත් එනවා. ඌරනයේ යාලුවොත් එක්‌ක එකතුවෙලා ගොවි හමුදාවටත් බැඳෙනවා. මේ විදිහට එච්. එම්. ශ්‍රාවස්‌තියට ගිහින් පස්‌සර මන්ත්‍රී සෝමපාල සෙනෙවිරත්න හමුවෙනවා.


 ඊළඟට විජයානන්ද දහනායක මහතා හමුවෙනවා. ඊට පස්‌සේ අමරදේව මහත්තයාගේ ලියුමකුත් අරගෙන ගුවන්විදුලි සංස්‌ථාවට ගිහින් ඇල්විටිගල මහතා හමුවෙලා ඔහු රු. 7.50 ක වැටුපකට බටනලා වාදකයකු හැටියට ගුවන් විදුලියට බැඳෙනවා. ඊට පස්‌සේ කොළඹ ජීවිතය ගැන කලකිරිලා ලුනුගලට ඇවිත් මැණික්‌ ගරනවා.

 ලුනුගලදී ඔහු මාලනීගේ ගීතයට තනුවක්‌ නිර්මාණය කරයි. එතැන් පටන් ඔහු කළ නිර්මාණ දෙවැනි වෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයාට විතරයි. මේ අතර මාලනී සමඟ විවාහවෙලා 81 දී කසුන් කල්හාර උපදිනවා.

මේ අතර දුවව පුංචි කාලේදීම ඩෙංගු මාරයා බිළිගන්නවා. එච්. එම්. දවස්‌ තුනක්‌ මේ සොහොනේ නිදිවරාගෙන ඉන්නවා. එච්. එම්. අරගෙන එන්නේ හරිම අමාරුවෙන්. හරි අසම්මත අපූරු චරිතයක්‌. හරිම සුන්දර මිනිහෙක්‌. ඔහොම ගිහිල්ලා චිත්‍රපට සංගීතයට යොමුවෙනවා.

 මේ අතර ආරාධනා චිත්‍රපටයට සරසවි සම්මානය ලැබෙනවා. මීළඟට මුහුදු ලිහිණි චිත්‍රපටයට ජනාධිපති සම්මානය ලැබෙනවා. ඔහු එය ප්‍රතික්‍ෂේප කළා. ඔහුට කශේරුවක්‌ තිබුණා. ඔහු කියනවා මට නෙවෙයි ඒ සම්මානය ලැබිය යුත්තේ "තුන්වැනි යාමය" නිපද වූ කේමදාස මාස්‌ටර්ට කියලා. එච්. ඒ. සෙනෙවිරත්න හැරුණු විට සම්මානයක්‌ ප්‍රතික්‍ෂේප කරපු අනෙක්‌ පුද්ගලයා තමයි එච්. එම්.'

පසුකලෙක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී එච්එම් සිය ජීවිතය ගැන මෙසේ කියා තිබේ.

මට ඉස්කෝලෙදි ඉංග‍්‍රීසි සහ භූගෝලය අප්සෙට්. ඉන්ටර්වල් එකේදි මම පොත් ටික අරගෙන හොස්ටල් එකට පනිනවා. ආපහු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙට පැනලා ළමයි එක්ක එළියට එනවා. මං හැබැයි සංගීතය උපරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. හැබැයි සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා දහයෙ පන්තිය වෙනකොට මට ශිෂ්‍යත්වය අහිමි වුණා. හැබැයි වාදක මණ්ඩලයේ මම හරි දක්ෂයෙක්. හැබැයි ඉස්කෝලෙන් පස්සෙ සංගීත ක්ෂේත‍්‍රයට වෙන කවුරුවත් ආවෙ නැහැ.
වැඩ පේල් වුණ නිසයි ශිෂ්‍යත්වෙ නැතිවුණ නිසයි ඉස්කෝලෙ ගමන නැවතුණා. ගමට ගියා. බාප්පා කෙනෙක්ගේ උදව්වෙන් ලී ඉරුවා. බණ්ඩා කියලා යාළුවෙකුත් සෙට්වුණා. දෙන්නා එක්ක පලංචි දාලා බුරුත අඩියක් ඉරුවාම ශත 60ක් ලැබුණා. තේ ටිකත් හදාගෙන බොනවා. ගංජා සුරුට්ටුවක් ගහනවා. හේන් වගාවත් ඒ අස්සෙ කෙරුවා. මං සල්ලි හොයන්න කංසාත් වවල තියනවා. මේව දැන් කිව්වට කමක් නැනේ.
ලී ඉරන කාලෙ ගුවන්විදුලියේ බටනලා වාදකයකුට වේකන්සි එකක් පත්තරේ දැකල ඇප්ලයි කළා. ඒත් මාව ඔඩිෂන් එකෙන් කැපුවා.  පස්සර මන්ත‍්‍රීයි තව මන්ත‍්‍රීවරු දහදෙනකුයි අත්සන් කරලා මට තව ලියුමක් දුන්නා ගුවන්විදුලියට.
ලොක්කා ඇල්විටිගල කිව්වනේ මන්ත‍්‍රීවරුන්ගෙ ලියුම් ගෙනාවට මට රස්සාවල්

දෙන්නේ නැහැ කියලා. ඊට පස්සෙ තමයි මම අමරදේව මාස්ටර් හම්බ වෙන්න ගියේ. මගේ ඉස්කෝලෙ ඉතිහාස සර් වසන්ත ඔබේසේකර  එයත් ලියුමක් දුන්නා. පස්සෙ ගුවන් විදුලියේ අනියම් බටනලා වාදක කියන තනතුර ලැබුණා.
දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඬේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඬේ කියලා.
මාලිනී බුලත්සිංහල ගුවන්විදුලියෙදි හමුවුනේ.සමහරු ඒ කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඒත් ඉගෙන ගන්න නෙමේ මාලනී හම්බවෙන්න.
අපි විවාහ වුණා. දරු දෙදෙනෙක් ලැබුණා. කසුන් පුතා වගේම මගේ දුවට ආදරෙන් හිටියේ. නමුත් අවාසනාවට දුව නැතිවුණා.ඩෙංගු හැදිලා. ඒක ජීවිතේ කඩාවැටීමක්.  රෑට රෑට දූව මතක් වෙලා මං දුව මිහිදන් කරපු තැනට ගිහින් එයාව සිහි කලා. එතැන නිදාගත්තා. සමහරු කිව්වා මේක පිස්සුවක් කියලා. ඒත් මං දුව ගැන සංවේදී වුණා.
මාලනී නැතිවුනෙ පිටරටකදී. කරන්න දෙයක් නැහැ ඉතිං. රටටත් මටත් හොඳ ගෑනියක් නැතිවුණා. සමහර දේවල් අපිට වළක්වන්න බැහැ.
කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සිංදුවකට තනුවක් හදාගෙන එන්නේ නැහැ. වැඬේට ඇවිත්  එකපාරටම වැඩ කරනවා. මම කේමදාස වාදියෙක් නම් නොවෙයි. මම මට හම්බ මෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප‍්‍රතික්ෂේප කළා. චිත‍්‍රපටය මුහුදු ලිහිණි. හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකක්ද මේ කරපු වැඬේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දී ඒ කියන්නේ ඔයාගේ තුන්වැනි යාමයේ මියුසික් තියෙද්දී මම මේකට සම්මාන ගන්නේ නැහැ. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා.

එච් එම් ජයවර්ධන අසනීප තත්වයට පත්වන වකවානුවේ ජයවර්ධන මහතා කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන බවත්, සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වන බවටත් මාධ්‍ය වාර්තා පළ විය.
එවක කසුන් කල්හාර යනු ලංකාවේ ඉහළින් මුදල් හරිහම්බ කරන ගායකයෙකි. ඔහු පියාගැන නොබැලූ අජාසත් චරිතයක් බවට 2017 කාලයේ මුල්වරට කටකතා පැනනැගුණි. එම අවස්ථාවේ එච්එම් ඊට පිළිතුරු දුන්නේය.

'ඔය කතා අමූලික බොරුවක්. මේක සම්පුර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්. මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයන් දෙදෙනෙක් වගේ.තාත්තයි පුතාටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනක් වගේ. අපිට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි. ඔහුටත් එහෙමයි. නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා.  මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒකට මට විශාල මුදලක් වැය වෙනවා. කසුන් ඒ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා. මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මං යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසැනින් කරනවා. ඔහු තමයි මට හැම ලෙසින්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදියට ඔහුගෙන් ලැබිය යුතු යුතුකම් මට නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මේ ප්‍රචාරය පිළිබදව මම දැඩි සිත් තැවුලට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා. “