මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසේ සිට ඊයේ (8) දහවල් පිටතට පැමිණෙන විටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ
දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඊයේ පෙරවරුවේ පැමිණි බව රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරින් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල්ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය මාර්තු 23 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කර ගනි. මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 08 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමකදී මේ බව අනාවරණය වී තිබේ. නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබිණි.

-ගයාන් කුමාර වීරසිංහ-