https://www.gossiplankanews.com/2019/04/abdul-lathif-jamil-story.html#more
සුගිය ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සිනමන් ග්‍රෑන්ඩ්,ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද ඉලක්ක කර තිබුණ නමුත් එය අසාර්ථකවීමෙන් එම පිපිරුම සිදුනොවූ බවත් මේ වනවිට වාර්තාවී තිබේ.
ටාජ් සමුද්‍රා පුපුරුවාගැනීමට යෙදවූ අබ්දුල් ලතීෆ් ජමිල් නමැත්තා උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණ නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී දෙහිවලදී දේවස්ථානයක් පුපුරුවන්නට ක්ෂණික සැලසුමක් සකස් කර සෝදිසියක් කර තිබෙන නමුත්
එයද වැරදී යාමෙන් පසු  ලැගුම්හලට නැවත පැමිණ කාමරයේදී දිවිනසාගෙන තිබෙන බවත් මේ වනවිට වාර්තාවේ.
කිසිදු අරමුණකින් තොරව පුපුරවන ලද බෝම්බයක් ලෙස දෙහිවල සත්ත්වෝද්‍යානය අසල පිහිටි මෙම කුඩා ලැගුම්හලේ කාමරයක් තුළදී සිදු කරගත් මරාගෙන මැරෙන බෝම්බය නිසා අහක සිටි පෙම් යුවළක්ද මරුමුවට පත්වූ අතර ලැගුම් හළම විනාශ විය.
 සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු සපයන ලද තොරතුරු සහ ඔහු මුලින් නැවතී සිටි ටාජ් සමුද්‍රා හෝටලයේ දත්ත අනුව සැකකරු ගැන වැඩිදුර තොරතුරු රැසක් මේවනවිට අනාවරණයවී තිබේ.
 මහනුවර, වෙල්ලම්බඩ ලිපිනයේ පදිංචිව සිටි අබ්දුල් හලීෆ් ජමිල් මොහොමඩ් නම් ඔහුට

පාස්පෝට් 2 ක් තිබී ඇත.ගම්පොළ ප්‍රදේශයේ මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක උසස් අධ්‍යාපනය හදාරා ඇත.

ඔහු ගුවන් යානා ඉංජිනේරු උපාධිය ලබාගෙන ඇත්තේ 2006-07 කාලයේදී එංගලන්තයේ කිංස්ටන් සරසවියේදීය. පසුව 2009 ඔහු මැලේසියාවේ හා සිංගප්පූරුවේ ගිය බවට පාස්පෝට් මගින් තොරතුරු හෙළිව ඇත. ඔහු ගැන වැඩිදුර සෙවීමේදී මැලේසියාව හරහා ඕස්ට්‍රෙලියාවට ගිය බවත් එහිදී පශ්චාත් උපාධියක් හදාරා ඇති බවත් හෙලිව තිබේ.

මෙල්බන් නුවර Swinburne සරසවියේ අධ්‍යාපනය හදාරන අතර මුස්ලිම් අන්තවාදීන් ඇසුරු කර තිබෙන අතර ඔහු ඉන්පසු වෙනස් චරිතයක් වූ බවත් ඔහුගේ සොයුරියක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා පවසා තිබේ.
"දිග රැවුලක් වවා ගත් ඔහු මනුස්සකමක් නැති මනුස්සයෙක් බවට පත් වුණා.. ඔහු හැමවිටම කල්පනා කර
කර සිටි අතර කිසි කෙනෙකු සමඟ හිනාවුණේ නැහැ..ඔහු කුඩා කාලයේ සංගීතයට හරි ලැදි කෙනෙක්. මට හිතාගන්න බෑ ඔහු මේ වගේ තත්ත්වයට පත් වුණේ
කොහොමද කියලා..

මේ ව්‍යසනය සිදු කරන්න කලින්, ඔහු ඔහුගේ දරුවන් සමඟවත් සුහද ලෙස කතා කළේ
නැහැ. අඩුම තරමේ ළමයින්ට සංගීතෙටවත් සවන් දෙන්න ඉඩ දුන් නැහැ... ඔහු අමුතුම මනුස්සයෙක්
බවටයි පත් වෙලා හිටියේ.. මේ සියල්ල සිදු වුණේ ඕස්ට්‍රේලියාවේ ගිහින් ආවට පස්සේ... මම නිතරම
ඔහුට එරෙහිව කතා කළා. හැබැයි ඔහු කතාව පටන් ගත්තේ ආගම මුලට දාලා... ඔහු අපේ මහගෙදරත්
වික්කා.. විටින් විට දේපල විකුණමින් නැවත මිලදී ලබා ගැනීමත් ඔහු සිදු කළා.."
ඔහුගේ නැගණීය පවසා ඇත.

21 වැනිදා උදේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගන්නා සැලසුම ඇතිව ඔහු ඊට පෙර දිනයේ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් මිලට ගෙන ඇතුළුවී තිබෙන බව මේ වනවිට වාර්තාවී තිබේ.
ඔහු 'චෙක් ඉන්' කරන සීසීටීවී දර්ශන හමුවී තිබේ.
ඔහු පසුදින උදේ ටාජ් සමුද්‍රා අවන්හලට ඇතුළුවී බොම්බය පුපුරුවාගන්නට උත්සාහ කළත් එය තාක්ෂණිය හේතුවක් මත පුපුරා ගොස් නැති බවක් පොලිසිය අනුමාන කරයි.

තවත් වාර්තාවකින් පැවසුනේ එදින අවන්හලේ සෙනග අවම වීම නිසා ඔහු සැලසුම වෙනස් කළ බවකි.
කෙසේ වෙතත් රටපුරා තැන තැන බෝම්බ පිපිරෙද්දී ඔහුගේ බෝම්බය නිසි වේලාවට පිපුරුනේ නැත. පසුව ඔහු කාමරයෙන් බෝම්බයට මල්ලට අසුරාගෙන පිටත්වී සිය විශාල ගමන් මල්ල සමග එළියට යයි. ඔහු ගමන් මල්ල සමග සෝපානයේ බසිද්දී ලබාගත් ඡායාරූපයක්ද හමුවී තිබේ.

අනතුරුව ඔහු ත්‍රීරෝද රියකින් වැල්ලවත්තට ගොස් තවත් ත්‍රීරෝද රියකින් වැල්ලවත්තේ සිට දෙහිවලටත් ගොස් ඇත. පෙ.ව. 10.30ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයකට නැග තමාගෙන් දෙහිවල ලැගුම්හළක් තිබෙන තැනකට දාන්න යයි ඉල්ලා සිටි බව රියදුරු පවසා ඇත.
රියදුරු නිව් ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ඇරලවා පිටවී ගොස් ඇත.


විනාඩි කිහිපයක් පමණ ලැගුම්හලේ කාමරයේ ගතකර ඇති ජමිල්  බෝම්බය සහිත ගමන්මල්ල එම කාමරයේ තබා පා ගමනින් දෙහිවල අතපත්තු මාවතේ ශාන්ත මේරි කතෝලික දේවස්ථානය ආසන්නයට ගමන් කර ඇති බවට පොලිසියට සාක්ෂි හමුව ඇත. ඔහු බොම්බය නැතිව ඇඳුම් මාරු කරගෙන ඇවිද යන අයුරු සීසීටීවී පටිගත වීමක් හමුව ඇත.
ඒ අයුරින් අවස්ථා දෙකකදී ඒ අවට සැරිසරා ඇති අතර ටිකකින් නැවත ලැගුම් හළට යාමෙන් පසු කාමරය තුළදී පුපුරුවාගැනීම කර තිබේ.

දෙහිවල දේවස්ථානය විශේෂ ආරක්ෂාව සපයා තිබූ ස්ථානයක්වූ නිසා ඔහු ඇතුළුවීමට බියවන්නට ඇතැයි ද මරාගෙන මැරෙන අදහස වෙනුවට සියදිවිනසාගන්නා අදහස ඇතිවූයේ ඒනිසා යයිද එක් මතයක් තිබේ.
කෙසේ වෙතත් තවත් මතයකින් කියැවෙන්නේ ඔහුගේ බෝම්බයේ තාක්ෂණ දෝෂය සකස් කරන්නට යාමේදී කාමරය තුළදී අත්වැරද්දකින් එය පුපුරා යන්නට ඇති බවයි.

කාමරය ඇතුළේදී ඔහු සිය මරාගෙන මැරෙන කට්ටලය පුපුරවා ගැනීමත් සමග එයට යාබද කාමරයද පිපුරුමට ගොදුරුවූ අතර යාබද කාමරයේ රැඳී සිටි පෙම් යුවළ බොම්බයට හසුව බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ගෙන යනවිට දෙදෙනාම  මියගොස් තිබුණි. සිද්ධිය නිසා කුඩා ලැගුම් හළ විනාශ විය.සිද්ධියෙන් මියගියේ කම්කරු කාර්යාලයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ 24 හැවිරිදි තරුණියක හා ඇගේ පෙම්වතා යයි කියන දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙකි. ඔහු දෙදරු පියෙකු බවද පසුව වාර්තා විය.

සිද්ධිය ගැන පෙර ලිපිය
----------
දෙහිවල දේවස්ථානේ සිකියුරිටි වැඩි නිසා ඉංජිනේරු ප්‍රහාරකයා ලොජ් එකේදී දිවිනසාගෙන - අහක සිටි පෙම් යුවළ මියගොසින් Click HERE












සිද්ධිය ගැන පෙර ලිපිය
----------
දෙහිවල දේවස්ථානේ සිකියුරිටි වැඩි නිසා ඉංජිනේරු ප්‍රහාරකයා ලොජ් එකේදී දිවිනසාගෙන - අහක සිටි පෙම් යුවළ මියගොසින් Click HERE