https://www.gossiplankanews.com/2019/03/mawussakele-cheewara.html#more
ධ්‍යම කඳුකරයට මාස කීපයක් තිස්සේ පැවති වියළි කාළගුණයත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයට යටවී තිබූ  පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් අතරින් මතුව ඇති සමාධි බුද්ධ පිළිමය හා බෝධිගරයට චීවර පූජා කර මහා සංඝයාවහන්සේ විෂයෙහි දානමය පිංකමක් පැවැත්වීම
පෙරේදා (24) මාවුස්සාකැලේ ජලාශ මධ්‍යයේදී සිදු කෙරිණි.
වියළි කාළගුණයක් පවතින වසරක් පාසා මාවුස්සාකැලේ ජලාශයේ ජලය පතුලටම සිඳී යන කාලවල මස්කෙළිය, රිකාටන් ප්‍රදේශයේ ශ්‍රීපාද වෙළඳ සංගමය විසින් පවත්වන මෙම දානමය පිංකම මෙවරද පවත්වනු ලැබුවේ නියඟය නිමා කර රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමිණි.

පැරණි මස්කෙළිය නගරයේ බෞද්ධ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ, මේ වන විට නටඹුන්ව ඇති සමාධි බුද්ධ ප්‍රතිමාවට හා බෝධිගරයට චීවර පූජා කර එම චීවර වලින් ආවරණය කිරීමද මෙහිදී සිදු කරනු ලැබුවේ, වැඩම කර සිටි මස්කෙළිය, ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

වැඩම කර සිටි මහා සංඝරත්නය විෂයෙහි දිවා දානය පිළිගැන්වීමෙන් අනතුරුව චීවර හා පිණ්ඩපාත සේනාසන පූජා කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට රිකාටන් ශ්‍රී ජලනන්ධාරාමාධිපති තපෝවනයේ සන්නචින්ත, මස්කෙළිය ශ්‍රී සුමනාරාමවාසී තපෝවනයේ අනුබෝධි යන හිමිවරුන්ද වැඩම කර සිටියහ.
මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මස්කෙළිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා සමග එම පොලීසියේ නිලධාරීන්, රිකාටන්, ශ්‍රීපාද වෙළඳ සංගමයේ සාමාජිකයින්, මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකය අසල සිටින බෞද්ධ මෙන්ම හින්දු ජාතික වෙළඳ ප්‍රජාව ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)