https://www.gossiplankanews.com/2019/03/39-birthday-with39-marriages.html
ම තිස් නවවැනි උපන් දිනයදා එය සැමරීම සඳහා විවාහ නොවී පවුල් කන අවිවාහක ජෝඩු 39ක් සොයා
උත්සවශ්‍රී යෙන් නොමිලේ විවාහ කරදුන් රෙජිස්ට්‍රාර්වරයෙක් ගැන යටියන්තොටින් අසන්නට ලැබෙයි.
ඒ කෝරල තුන හා පහත බුලත්ගම විවාහ රෙජිස්ට්‍රාර් හා මෙගොඩපත පත්තුව උප්පැන්න හා මරණ
රෙජිස්ට්‍රාර් ටී.වී. සුමේධ රත්නපාල මහතායි.
කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාත් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හසලා සහසිරි මහත්මියත් ඉදිරියේ
මෙම විවාහ සිදුකළේය. රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ මංගල චාරිත්‍ර, භෝජන සංග්‍රහ ඇතුළු සියලු
කටයුතුද සංවිධානය කර තිබිණි. මෙම විවාහ කරවූ පවුල් 39 අතරට වතු ආශ්‍රිත ද්‍රවිඩ ජාතිකයන්ද,
සිංහල ජාතිකයන්ද ඇතුළත් විය. වයස 60-70 ඉක්ම වූ දරු මුනුපුරන් ඇති අවිවාහක පුද්ගලයන්ද විවාහ
කරවූවන් අතර විය.


විවාහ නොවී සිටි පවුල් 39  විවාහ කරන අවස්ථාවට සහභාගි වූ කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර
මහතා ‘අද කෑගල්ල දිස්ත්‍රික්කය පුරාවටම තිබෙන ගැටලුවක් මේක.  සුමේධ මහත්තයා ගත් උත්සාහය
ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. ඉදිරි පරම්පරාවන්ට වන යහපත් දෙයක් නිසා මෙය ජාතික වශයෙන්
වැදගත් කටයුත්තක් ලෙස මා සලකනවා.

කෑගල්ල ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හසලා සහසිරි මහත්මිය, ‘රටේ තත්ත්වය අනුව දරුවාගේ
සුජාත බව ඔප්පු කරන්න තියෙන ලියවිල්ලක් වගේම කාන්තාවකට රැකවරණයක්. විවාහ සහතිකයක් නැතිකමින්
දේපළක අයිතියක් තහවුරු කරගන්න බැරි අවස්ථා අපි දැකලා තියෙනවා. මේක සමාජ සත්කාරයක්.”


මේ සද් කටයුත්ත සිදු කළ රෙජිස්ට්‍රාර් සුමේධ රත්නපාල මහතා, ‘මනුෂ්‍යයන්ට වැදගත්ම ලේඛන 3න්
එකක් විවාහ සහතිකයයි. විවාහ නොවී පවුල් ජීවිත ගත කරන විශාල පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා.
ගොඩක් වෙලාවට හැකියාවක් තියෙන අවශ්‍යතාවක් තියෙන බොහෝ දෙනා විවාහ සහතික ලබා ගන්නවා.
මේ කටයුත්ත ඉටුකරවාගන්න දැනුවත් කමක් නැති, හැකියාවක් නැති, අවශ්‍යතාවක් නැති බව සිතන ජෝඩු
39ක් එකතු කිරීමෙන් තමයි 39 වැනි උපන්දිනය සැමරුවේ. සමහර ජාතීන් චාරිත්‍රානුකූල විවාහය අනුව
තැල්ල බැඳීම නීත්‍යනුකූල විවාහයක් ලෙස සිතනවා. දෙවියන් ඉදිරියේ චාරිත්‍රානුකූල විවාහය
සාම්ප්‍රදායික කටයුත්තක් පමණයි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
එච්.ආර්. මිත්‍රපාල, පළාත් සභා මන්ත්‍රි අජිත් ශාමින්ද, වත්සලා ජනාදරී, මද්දුම බණ්ඩාර රණසිංහ,
රොෂාන් අවන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

කිතුල්ගල - තරින්ද රත්නායක